තරගාවලියේ තීරණය සොයා – කොදෙව්වෝ අද ශී‍්‍ර ලංකාව හමුවෙති

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර කි‍්‍රයාත්මක තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි සහ අවසන් තරගය අද (29 වැනිදා) ආරම්භවීමට නියමිතව තිබේ. ඒ අනුව එය ශී‍්‍ර ලංකා වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ වීමට නියමිත අතර දෙරට අතර පැවැති පළමු තරගය ජය පරාජයකින් තොරව අවසන්වීම මත තරගාවලිය ජය ගැනීමට නම් අද තරගය ජය ගැනීම කණ්ඩායම් දෙකටම වැදගත් වී තිබේ.

කොදෙව්වන් සමග පැවැති විස්සයි විස්ස සහ එක්දින තරගාවලි දෙකම පරාජයට පත්ව සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමට සිය ගෞරවය රැක ගැනීම වෙනුවෙන් අද ආරම්භ වන තරගය ජය ගනිමින් තරගාවලියේ ජය හිමිකර ගැනීම අනිවාර්ය තත්ත්වයක් බවට මේ වනවිට පත්ව තිබේ. යම් හෙයකින් දෙවැනි ටෙස්ට් තරගය ජය ගැනීමට සත්කාරකයින් සමත්වුවහොත් විස්සයි විස්ස, එක්දින සහ ටෙස්ට් යන ආකෘති 3නටම අදාළව ශී‍්‍ර ලංකාවට එරෙහිව පූර්ණ තරගාවලියක ජය ඔවුන්ට හිමිවනු ඇත. ඒ අනුව මෙම තරගය ජය ගැනීමට තමන් සතු සියලූ තුරුම්පු භාවිත කිරීමට කොදෙව් කණ්ඩායම සූදානම් වනු ඇත.

නිමාවට පත්වු දෙරට අතර පළමු ටෙස්ට් තරගයේදී ශී‍්‍ර ලංකා පිතිකරුවෝ පළමු ඉනිමේදී අසාර්ථක වීද දෙවැනි ඉනිමේදී හොඳින් ලකුණු අතරට පිවිසීමට සමත් විය. ඒ අනුව ළහිරු තිරිමාන්න, ඕෂධ ප‍්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල, පැතුම් නිස්සංක සහ ධනංජය ද සිල්වා කෙරෙහි දෙවැනි ටෙස්ට් තරගයේදී වැඩි බලාපොරොත්තු තබා තිබේ. කොදෙව් පිතිකරුවන්ද පළමු ඉනිමට වඩා දෙවැනි ඉනිමේදී ශී‍්‍ර ලංකා පන්දු යවන්නන්ට හොඳින් මුහුණ දෙමින් කඩුල්ල ආරක්ෂා කරගනු දක්නට ලබුණු අතර ඒ අනුව ශී‍්‍ර ලංකා පන්දු යවන්නන්ට පළමු තරගයට වඩා දෙවැනි තරගයේදී වැඩි වගකීමක් පැවරෙනු ඇත.

අද තරගය කී‍්‍රඩා කිරීමට නියමිත ශී‍්‍ර ලංකා සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), ළහිරු තිරිමාන්න, ඕෂධ ප‍්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, පැතුම් නිස්සංක, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, ලසිත් ඇඹුල්දෙණිය, විශ්ව ප‍්‍රනාන්දු

කොදෙව් සංචිතය – කේ‍්‍රග් බ‍්‍රත්වේට් (නායක), ජොන් කැම්බෙල්, නක්රුමා බොන්නේර්, කයිල් මාර්ස්, ජර්මේන් බ්ලැක්වූඞ්, ජේසන් හෝල්ඩර්, ජෝසුවා ද සිල්වා, අල්සාරි ජෝසප්, රකීම් කොන්වෙල්, කැමර් රෝච්, ෂැනොන් ගේබි‍්‍රයල්

Related posts

Leave a Comment