පේරාදෙණිය සරසවියේ තැන්පතුවකින් කෝටි 5 කට විදලා

පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනය විසින් පවත්වාගෙන ගිය ස්ථාවර තැන්පතුවලින් රුපියල් මිලියන 50ක් (කෝටි 5ක්) එහි හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු විසින් වංචා සහගත ලෙස ලබාගෙන ඇතැයි පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනය විසින් මහජන බැංකුව පේරාදෙණිය ශාඛාවේ පවත්වා ගෙන ගිය ස්ථාවර තැන්පතු 14ක් 2009 ජනවාරි 01වැනිදා සිට 2016 දෙසැම්බර් 31 දා දක්වා කාලය තුළ අවසන් කර, ලබා ගත් රුපියල් මිලියන 93 ක (රුපියල් 93,287,025 ක) මුදලින්, රුපියල් මිලියන 37ක් (රුපියල් 37,948,865 ක්)පමණක් නව ස්ථාවර තැන්පතුවල ආයෝජනය කර රුපියල් මිලියන 50ක් (රුපියල් 50,338,160)
ජ්‍යෙෂ්ඨ සහකාර මූල්‍යාධිකාරීවරයා විසින් වංචා සහගත ලෙස පෞද්ගලිකව මුදලින් ලබාගෙන මූල්‍ය වංචාවක් සිදු කොට තිබේ.

මෙම මූල්‍ය වංචාව සම්බන්ධ නිලධාරිවරයාගේ වැඩ තහනම් කොට ඇති අතර මේ පිළිබඳව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් සිදු කෙරෙමින් පවතී. විශ්වවිද්‍යාලය තුළ මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව සොයා බැලීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලක සභාව මගින් විනය පරීක්ෂණයක්ද සිදු කරමින් පවතින අතර ඊට අමතරව විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් ද අධිභාර පැනවීමක් සිදු කරන බව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ පොදු ව්‍යාපාර පිළිබ`ද කාරක සභාවේදී තවදුරටත් අනාවරණය විය.

මෙම රැස්වීමට කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී චරිත හේරත්, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් පේ‍්‍රමජයන්ත, ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, ඉරාන් වික‍්‍රමරත්න, පේ‍්‍රම්නාත් සී.දොළවත්ත සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

Related posts

Leave a Comment