කඩු 6000 ආනයනය – කාදිනල් හිමිගේ පෙත්සම සලකා බැලේ

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ සමයේ කඩු 6000ක් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය පිළිබඳව විමර්ශන සිදුකිරිම සඳහා පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නායකත්වයෙන් යුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබෙන බව නීතිපතිවරයා අද (31) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

එම සිද්ධිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ගොනුකරන ලද රිට් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ අවන්ති පෙරේරා මහත්මිය එම දැනුම් දීම සිදුකළාය.

එම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නේ එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය.

එම පරීක්ෂණ කටයුතු විධිමත් කිරීම සඳහා පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි සහකාර පොලිස් අධිකාරීවරයෙකු ගේ නායකත්වයෙන් යුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබෙන බවද රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නාය.

මේ බව තහවුරු කෙරෙන පොලිස්පතිවරයාගේ ලිපියක් ද ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.

ඒ අනුව එම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේ ද? නැද්ද? යන කාරණය පිළිබඳව පෙත්සම්කරුගෙන් විමසා මැයි මස 06 වනදා අධිකරණය දැනුවත් කරන ලෙස අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතාට දැනුම් දුන්නේය.

Related posts

Leave a Comment