ජාතික බුද්ධි ප්‍රධානියා ගැන බොරු කී නලින් බන්ඩාර අද CIDයට

රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව අද (1දා) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාට දැනුම්දීමක් කර ඇත.

ඒ අනුව, අද (අප්‍රේල් 1) ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතය.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වූ සහරාන් හෂීම්ට සහාය දුන් බව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි ප්‍රධානියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබිණි.

පාස්කු ප්‍රහාරයට පෙර එම ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු සහරාන් හෂීම් නමැත්තාට මැලේසියානු ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී මේජර් ජෙනරල් සුරේෂ් සලේ හමුවූ බවක් ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශකර තිබිණි.

මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය පදනම් විරහිත බවත් එම ප්‍රකාශය තුළින් තමාගේ මෙන් ම තම පවුලේ සාමාජිකයන්ගේ ජීවිත ආරක්ෂාවට බරපතළ තර්ජනයක් එල්ලවීමට ඉඩ ඇති බවත් සලේ මහතා සිය පැමිණිල්ලෙන් සඳහන් කර තිබිණි.

එමෙන් ම, යුද්ධ පුහුණුවක් සඳහා විදේශගතව සිටියදී එය අවසන් වන්නට පෙර මෙරට බුද්ධි අංශයේ ප්‍රධාන තනතුරක් ලබාදී ඇති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශකර තිබිණි. එමෙන් ම මේ සම්බන්ධයෙන් සලේ මහතා පාස්කු කොමිසමට සාක්ෂි දීමට නොකැඳවූ බව මන්ත්‍රීවරයා කීව ද, තමා සය වතාවක් ගොස් පාස්කු කොමිසමට සාක්ෂි දුන් බවත් සලේ මහතා සිය පැමිණිල්ලෙන් ප්‍රකාශකර තිබිණි.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නලින් බණ්ඩාර මහතා කැඳවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට කලින් ද ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව, නලින් බණ්ඩාර මහතාට අද උදේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම්දුන් බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නිශාන්ත ද සොයිසා මහතා කීවේ ය.

Related posts

Leave a Comment