ජනපති ප්‍රධානත්වයෙන් අලුත් සහල් මංගල්‍යය අනිද්දා

අනිද්දා (4) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවර ජාතික අලුත් සහල් මංගල්‍යය ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියසදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ගොවීන් විසින් තම දහඩිය වගුරවා ගත් අස්වැන්නේ අග්‍ර භාගය බුදුන් වහන්සේට පූජා කිරීමේ උතුම් උත්සවය ලෙස සැලකෙන ජාතික අලුත් සහල් මංගල්‍යය මෙවර පනස් හතර වැනි වරටත් උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී කරන මේ මහා මංගල්‍යය මෙවර පැවැත් වෙන්නේ හෙට (3) සහ අනිද්දා (4) යන දෙදින තුළයි. දිස්ත්‍රික්ක 25න්ම රැස් කර ගත් සහල් එදින ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේට පූජා කෙරේ. කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම රාජ්‍ය ආමත්‍යාංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව උත්සවය පවත් වන බව අනුරාධපුර දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් පී. ජී. එස්. එන්. ප්‍රියදර්ශනී මහත්මිය සඳහන් කළාය.

හෙට (3) උදෑසන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සතර වාහල්කඩ කිරි ඉතිර වීමෙන් උත්සවය ආරම්භ වේ. පසුව හේවිසි පූජාවක් හා විවිධ ආගමික වතාවත් කිරීමට නියමිතයි. ඉන් අනතුරුව ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ අබියස දී හෙට (3) රාත්‍රි සර්ව රාත්‍රික පිරිත් දේශනාව පසුදා පහන් වන තුරු පැවැත්වේ.

එසේම කිරි ආහාර පූජාවක් අනිද්දා (4) උදෑසන සිදු කෙරේ. මහා සංඝරත්නයට හීල් දානය පිළිගැන්වීම ඉන් අනතුරුව සිදු වේ. පසුව උත්සවයේ වැදගත්ම අවස්ථාවක් ලෙස අලුත් සහල් පෙරහැර සිංහ කනුව අසලින් ආරම්භ කරන අතර අනතුරුව පෙරහරින් පැමිණ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස තබා ඇති විසල් පාත්‍රයට අලුත් සහල් පිරවීම සිදු වේ. අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි ප්‍රධාන මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් මේ උතුම් පුන්‍ය කටයුත්ත සිදු කරති. එහිදී පැවැත්වෙන ආගමික කටයුතුවලින් අනතුරුව අලුත් සහල් මංගල්‍ය නිමිත කර ගෙන සම්පාදිත සඟරාව පිළිගැන්වීමද සිදු වේ.

මී පැණි හා ගිතෙල් පූජාවක්ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් පළාත් නවයේ ගොවි සංවිධානවලට පිරිත් කරන ලද බිත්තර වී බෙදා දීමද එහිදී කිරීමට නියමිතය.

උපුටා ගැනීම – දිණමින පුවත් පතිනි

Related posts

Leave a Comment