පාස්කු නිර්දේශ ගැන ඇමැති අනුකමිටු වාර්තාව සඳුදා ජනපතිට

පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් වූ ඇමැති අනුකමිටු වාර්තාව එළඹෙන 5වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දීමට නියමිතව තිබේ.

මේ වාර්තාව ජනාධිපතිවරයාට භාරදීමෙන් අනතුරුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මිනුවන්ගොඩ පක්ෂ කාර්යාලයේ පැවති පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව නැවත අධීක්ෂණය කර එය ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඇමැති චමල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් උදය ගම්මන්පිල, ප්‍රසන්න රණතුංග, ජොන්ස්ටන් ප්‍රනාන්දු හා රෝහිත අබේගුණවර්ධන මහත්වරුන්ගෙන් සමන්විත මේ කමිටුව පත් කෙරිණි.

නව කමිටුවේ වාර්තාව පසුගිය 15වැනිදා භාර දීමට නියමිතව තිබූ අතර වැඩි දුර විමර්ශනය කිරීම සඳහා කමිටුව විසින් තවත් සති දෙකක කාලයක් ගත්තේය. එම කාලසීමාව පසුගිය තිස්වැනිදායින් අවසන් වූ අතර කමිටු වාර්තාව එළඹෙන සඳුදා කැබිනට් මණ්ඩල රැස්වීමට ප්‍රථම කමිටු සාමාජිකයන් විසින් ජනාධිපතිවරයාට දීමට නියමිතව තිබේ.

Related posts

Leave a Comment