කෝටි 22 ක් වටිනා රන් බිස්කට් කිලෝ 17ක් ගුවන් තොටින් පැන්නීමට ගිය පවිත‍්‍රතා නිලධාරියා රේගු දැලේ

රුපියල් කෝටි 22ක් වටිනා රන් බිස්කට් කිලෝ 17ක් ගුවන්තොටුපළෙන් පිට කිරීමට තැත් කළ ගුවන්තොටුපළේ සේවය කරන පවිත‍්‍රතා කාර්මික නිලධාරියකු ගුවන්තොටුපළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පෙරේදා (03වැනිදා) අත්අඩංගුවට ගන්නා ලදී.

පොළොව පිරිසිදු කරනා යන්ත‍්‍රයක් තුළ සඟවා මෙම රන් බිස්කට් ගුවන්තොටුපළෙන් පිට කිරීමට තැත් කිරීමේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සමත් වී තිබේ.

ඩුබායි සිට පැමිණෙන මගීන් විසින් මෙම රන් බිස්කට් ගුවන්තොටුපළ වැසිකිළිවල සඟවා යෑමෙන් පසු මෙම පවිත‍්‍රතා කාර්මික නිලධාරියා විසින් පොළොව පිරිසිදු කරන යන්ත‍්‍රයක සඟවා, පොළොව පිරිසිදු කරන මුවාවෙන් ගුවන්තොටුපළෙන් පිට කිරීමට උත්සාහ කිරීමේදී මොහු අත්අඩංගුවට ගත් බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නියෝජ්‍ය රේගු අධිකාරි නුවන් අබේනායක මහතා පැවසීය.

මෙහිදී රුපියල් කෝටි විසි දෙකක් වටිනා රන් බිස්කට් 161ක් සොයා ගත් බවත් ඒවායේ බර කිලෝ 17ක් පමණ වන බවත් නියෝජ්‍ය රේගු අධිකාරි නුවන් අබේනායක මහතා කියා සිටියේය.

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් විශ‍්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප‍්‍රිය මහතගේ උපදෙස් මත අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් (බලාත්මක) ආනන්ද ඊස්වරන්, සමාජ ආරක්‍ෂණ ඒකකයේ අධ්‍යක්‍ෂ රාජරත්න යන මහත්වරුන්ගේ මගපෙන්වීම මත රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ ටී. වැලිකල මහතාගේ නියෝග මත රේගු අධිකාරීවරුන් වන උදය ගාමිණී, හසන්ත ගුරුගේ, නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක, ශ‍්‍රී ලාල් විජේවර්ධන, රසික සමන්ජිත්, සහකාර රේගු අධිකාරිවරුන් වන ඩිල්ශාන් වැලිගම්පිටිය, බිනෝජ් කුරේ යන මහත්වරුන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරන ලදී
උපුටා ගැනීම – දිවයින පුවත්පත

Related posts

Leave a Comment