සහල් හිගයට හේතුව හෙළිවේ!

සහල් තොග පිළිබඳ සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් එහි ගබඩාවල සහල් මෙටි‍්‍රක් ටොන් 100000 ක සංචිතයක් තබාගත යුතු නමුදු වසර කිහිපයකම සිට එවැන්නක් සිදුවී නොමැති බවත් මෙටි‍්‍රක් ටොන් 700 ක ප‍්‍රමාණයක් පමණක් සංචිතය වශයෙන් තබාගෙන සිටි බවත් ජාතික විගණන වාර්තා මගින් හෙළිදරව් වී ඇත. ආහාර දෙපාර්තමේන්තුව සතුව ක‍්‍රියාත්මක මට්ටමේ සහල් ගබඩා 24 ක් තිබේ. වසර 2012 සිට වසර 2019 දක්වා ගත වූ මුළු කාලය තුළම එම ගබඩාවල සංචිත වශයෙන් තිබී ඇත්තේ සහල් ටොන් 700 ට අඩු ප‍්‍රමාණයකි. සහල් මිලට ගැනීම සඳහා අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරය මගින් නිකුත් නොකිරීම මෙයට හේතුවය.

ඉහත සඳහන් හේතුව නිසා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සතු ගබඩා විශාල ප‍්‍රමාණයක් නිරන්තරව හිස්ව පවතී. මේ ගබඩා සියල්ල රුපියල් මිලියන 300 ක වියදමින් විද්‍යාත්මක මට්ටමකින් ප‍්‍රතිසංස්කරණය කළ ඒවාය.

ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ප‍්‍රමුඛ වගකීමක් වන්නේ අත්‍යවශ්‍ය ආහාර තොග සංචිත වශයෙන් තබාගෙන එම භාණ්ඩ හිඟයක් රටේ හටගන්නා අවස්ථාවල වෙළෙඳපොළට මුදාහැරීමය. එමගින් භාණ්ඩ හිඟය නිසා ඇතිවන උද්ධමනය පහළ බැස හිඟ භාණ්ඩයේ මිල ස්ථාවර තත්ත්වයකට පත්වේ.

වසර 2012 – 2015 අතර කාලයේදී සහල් සංචිත මිලට ගැනීම සඳහා ආහාර කොමසාරිස් දෙපාර්තම්නේතුව මගින් භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලා නැත. එහෙත් 2016 සිට 2019 දක්වා ගතවූ වසරවල රුපියල් මිලියන 256, රුපියල් බිලියන 1.1 ක්, රුපියල් බිලියන 1.1 ක් සහ රුපියල් බිලියන 2.4 ක් යනාදී වශයෙන් ආහාර දෙපාර්තමේන්තුව සහල් සංචිත මිලට ගැනීම සඳහා භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලා ඇත. එහෙත් කිසිදු මුදලක් ලැබී නැත. ආහාර දෙපාර්තමේන්තුව සතුව ගබඩා 120 ක් තිබේ. මෙහි ධාරිතාව සහල් මෙටි‍්‍රක් ටොන් 286946 කි. එහෙත් මෙම ගබඩා වලින් පරිහරණය කෙරෙන්නේ ගබඩා 24 ක් පමණකි. මීට අමතරව තවත් ගබඩා 2 ක් පෞද්ගලික අංශයට කුලියට දී තිබේ. සෙසු ගබඩා වලින් ගබඩා 28 ක් විවධ කටයුතු සඳහාත් සෙසු ගබඩා 20 දිස්ත‍්‍රික් ලේකම්වරුන් යටතේත් පවත්වාගෙන යනු ලැබේ.

Related posts

Leave a Comment