මහින්දානන්දගේ ලක්‍ෂ 39 ක සාවද්‍ය පරිහරණය නඩුව කල් යයි

වෘත්තීය සමිතියකට අයත් රුපියල් ලක්‍ෂ 39 ක මුදලක් සාපරාධි අන්දමින් සාවද්‍ය පරිහරණය කළ බවට රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන පෙබරවාරි මස 3 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා අද (21) නියම කළේය.
 
ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය යන වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්‍ෂ 39ක මුදලක් සාපරාධි අන්දමින් සාවද්‍ය පරිහරණය කළ බවට මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා අසනීප තතිවයෙන් පසුවන බව දැනුම් දෙමින් පැමිණිල්ල වෙනවෙන් කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරවරයා එලෙස  නියම කළේය.
 
වෘත්තීය සමිතියකට අයත් රුපියල් ලක්‍ෂ 39ක මුදලක් සාපරාධි අන්දමින් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මෙන්ම විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීම සඳහා කැඳවනු ලැබු අවස්ථාවේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
 
2012 ඔක්තෝබර් 31 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ, නාවල, ජයවර්ධපුර සහ කෝට්ටේ යන ස්ථාන වලදී ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය යන වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්‍ෂ 39ක් සාපරාධි අන්දමින් සාවද්‍ය පරිහරණය කිරීම හා එම මුදල සම්බන්ධයෙන් විශ්වාසය කඩ කළ බවට නීතීපතිවරයා විසින් විත්තිකාර හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමෙන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නඩු පවරා තිබිණි.
 
ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොන්ග්‍රසය නමැති වෘත්තීය සමිතිය විසින් විත්තිකරුගේ බාරයට පත් කොට තිබු රුපියල් ලක්‍ෂ 39ක මුදලක් වංක ලෙස සිය ප්‍රයෝජනයට ගෙන ඇති බව නීතීපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී තිබිණි.
 
විත්තිකරුට එරෙහි මෙම චෝදනා සනාථ කිරීම සඳහා සාක්කිකරුවන් 20 දෙනෙකු හා ලේඛණ 8ක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව නීතීපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී තිබිණි.
 
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරිය කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා අසනීප තතිවයෙන් පසුවන හෙයින් නඩුව වෙනත් දිනයක කැඳවන්නැයි ඉල්ලා සිටියාය.

Related posts

Leave a Comment