පරිසරය හා සොබාදහම ගැන නොසිතා මුදල් පසුපස යෑමෙන් සොබාදහම විසින් මිනිසාට දඬුවම් දෙනු ඇත

මුදල් පසුපස හඹායන ක්‍රමය වෙනුවට සොබා දහමට ආදරය කරමින් සමස්ත ලෝකයා රැක ගැනීමේ හැරවුම් ලක්ෂ්‍ය හමුවේ අප දැන් සිටින බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ පවසයි.

ජාතිය, ආගම, පරිසරය හා සොබාදහම පිළිබඳව නොසිතමින් බොහෝ දෙනකු මුදල් පසුපස යෑම හේතුවෙන් නුදුරේදී ම සොබාදහම විසින් මිනිසාට දඬුවම් දෙනු ඇතැයි මහනුවර පොල්ගොල්ලේදී පැවැති රුක්රෝපණ වැඩසටහනකට සහභාගි වෙමින් ආදිවාසී නායකයා මේ බව ප්‍රකාශ කළ බව මව්බිම පුවත්පත වාර්තා කරනවා.

ආදිවාසීන් වන විනාශය කරන බව ඇතැමුන් පැවසුවත් අතීතයේ සිට ම ඔවුන් වනය හා සොබාදහම සමග මනාව බැඳී ජීවත්වන බව හෙතෙම සඳහන් කළේ ය.

තම කුඩා කල නිවසින් එළියට බසින අවස්ථාවේ සිට තිබුණේ මහා ඝන වනාන්තරයක් යැයි කී ආදිවාසී නායකයා තවදුරටත් මෙසේ සඳහන් කළේ ය.

“අතීතයේදී අපි හේන් කෙටුවත් කිසි ම අවස්ථාවක මහා ගස් කැපුවේ නැහැ. අවුරුදු කාලයේදී වනයට යන අපි ලඳු කැලෑ තෝරා ගන්නවා. එයින් අඩු ම ගස් ඇති කොටසේ ලඳු කැලෑ එළි පෙහෙළි කරනවා. එය ද ගලක් විසිකරන දුර ඇති සීමාව විතරයි අපි එළිකරන්නේ. එමෙන් ම කන්දකට හූවක් හා දිය පහරකට හූවක් දුරින් මෙපිටට අප එළිකරන්නේ නැහැ. අපි වනාන්තරයට ආදරය කළා. වනය නොමැතිව අපට ජීවත් විය නොහැකි බව අපි දන්නවා.

වසර සිය දහස් ගණනක සිට ජීවත් වන මානවයා වනාන්තරයට හානියක් කළේ නැහැ. වනය සමග ජීවත් වුණා. නමුත් අද තත්ත්වය වෙනස්.”

“වනය ආරක්ෂා කරන්න කියලා අද අමාත්‍යාංශය, සංවිධාන තියෙනවා. ඒත් වන විනාශය වෙනවා. අපේ ආදිවාසීන්ගේ යුගයේ වනය ආරක්ෂා කරන්න සංවිධාන තිබුණෙත් නැහැ. කිසිවෙකුත් වනයට හානි කළෙත් නැහැ,” ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ වැඩිදුරටත් පැවසූහ.

තම පියාගේ කාලයේ සිට භාවිත කරන ලද මාදුරුඔය වනයේ රුක්රෝපණය කිරීම සඳහා කටයුතු යෙදූ බවත් නමුත් ඒ සඳහා අවසර ගැනීමට සිදු වූ බවත් කැලයේ පැළ රෝපණය කිරීමට අවසර ගැනීමට සිදුවී ඇතත් කිසිදු අවසරයකින් තොරව වනය කැපීම සිදුවන බව ද ආදිවාසී නායකයා සඳහන් කළේ ය. වනය හා පරිසරය ආරක්ෂා කිරීමට, මහ පොළොවේ අපි වැනි සංවිධාන කරන කටයුතු ද අගය කරන බව වැදි නායකයා ප්‍රකාශ කළේ ය.

Related posts

Leave a Comment