එළවළු පළතුරු මෙට්‍රික්‌ ටොන් 270000 ක්‌ වාර්ෂිකව අපතේ යයි…. පාඩුව බිලියන 20 ක්‌… වැඩිහිටියන්ගෙන් 73%ක් ප‍්‍රමාණවත් එළවළු පලතුරු ගන්නේ නෑ….

අවුරුදු 5ට අඩු දරුවන්ගේ මන්දපෝෂණ මට්ටම 21%ක්… ‘කෝපා’ කමිටුවේදී අනාවරණය වෙයි

ජාතික විගණන කාර්යාලය සිදු කළ විගණනයකට අනුව වාර්ෂිකව එළවළු හා පලතුරු මෙටි‍්‍රක් ටොන් දෙලක්‍ෂ හැත්තෑදහසක් පමණ අපතේ යන බවත් එයින් මෙරට ආර්ථිකයට සිදුව ඇති අලාභය රුපියල් බිලියන 20ක් පමණ වන බවත් පසුගියදා පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් පැවැති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

එම වාර්තාවේ නිරීක්ෂණ අනුව, ශ‍්‍රී ලංකාවේ එළවළු හා පලතුරුවල පසු අස්වනු හානිය සියයට 30-40 ත් අතර ප‍්‍රමාණයක් බව අනාවරණය වී තිබේ. මෙරට වැඩිහිටියන්ගෙන් 73%ක් පමණ ප‍්‍රමාණවත් පරිදි එළවළු හා පලතුරු පරිභෝජනය නොකරන බව ද වයස අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගේ මන්දපෝෂණ මට්ටම ද 21% පමණ වන බව ද තවදුරටත් මෙම වාර්තාව මගින් හෙළිදරව් වී තිබේ.

එමෙන්ම කෘෂිකර්මයේ සමස්තය ආවරණය වන පරිදි සකස් කළ සම්මත කෘෂිකාර්මික ප‍්‍රතිපත්තියක් ශ‍්‍රී ලංකාවට නොමැති බව ද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. 2019 දී අවසන් වරට සකස් කර ඇති දේශීය කෘෂිකාර්මික ප‍්‍රතිපත්තිය ද මේ වන විට පවතින්නේ කෙටුම්පත් මට්ටමේ බවත්, දේශීය හා විදේශීය වෙළෙඳ පොළ ඉලක්ක කරගත් කෘෂිකාර්මික ප‍්‍රතිපත්තියක අවශ්‍යතාවය පිළිබඳව ද ‘කෝපා’ කමිටුවේ අවධානයට ලක්විය.

ඉහත කරුණු අනාවරණය වූයේ ශ‍්‍රී ලංකාවේ එළවළු හා පලතුරු සම්බන්ධව පසු අස්වනු හානිය අවම කිරීම හා සාධාරණ මිලට අලෙවිය සඳහා අදාළ රාජ්‍ය ආයතනවල මැදිහත්වීම පිළිබඳ වූ කාර්ය සාධන විගණන වාර්තාව සාකච්ඡුාවට ලක් කළ අවස්ථාවේදී ය.

මේ වන විට ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සෑම දෙසතියකට වරක් ඉදිරි දෙසතියක කාලසීමාවේදී වගා කිරීමට සුදුසු එළවළු වර්ග පිළිබඳ පූර්ව නිවේදනයක් ඉදිරිපත් කෙරෙන භෝග පුරෝකථන වැඩසටහනක් ක‍්‍රියාත්මක වුවද මෙම ගැටලූව විසඳීමට එය ප‍්‍රමාණවත් නොවන හෙයින් ඒ පිළිබඳ දැඩි ලෙස අවධානය යොමු කරන ලෙස ‘කෝපා’ කමිටුවේ සභාපති තිස්ස විතාරණ මහතා කමිටුව හමුවට පැමිණි නිලධාරීන් වෙත දන්වා සිටියේය.

එමෙන්ම, ඒ සඳහා දිස්ත‍්‍රික්/ප‍්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවල දායකත්වය ලබාගැනීමත්, එළවළු හා පලතුරු

වගාවට අදාළව වගා සැලසුම් සම්බන්ධ මූලික උපදෙස් ලබා දීම සම්බන්ධයෙන් ක්ෂේත‍්‍රයේ නියැළී සිටින කෘෂි නිලධාරීන්ගේ සහභාගීත්වය වැඩි කිරීමත්, ගොවීන් හා ගොවීන් වෙත සෘජුවම සම්බන්ධ වන කෘෂිකර්ම උපදේශකවරුන්, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහායකවරුන් ප‍්‍රමාණවත් සංඛ්‍යාවකට නිසි පුහුණුවක් ලබා දීමටත්, අස්වැන්න ඇසිරීම හා ප‍්‍රවාහනයේ දී ප්ලාස්ටික් කූඩ භාවිතයෙන් සිදු වන හානිය අවම කර ගැනීමටත්, ආහාර නාස්තිය අවම කර ගැනීම සඳහා විජලන ක‍්‍රම භාවිතය පිළිබඳවත්, ප‍්‍රවාහන වියදම මෙන්ම විශාල අතරමැදියන් පිරිසක් සිටීම හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානවල තොග මිල හා එම අවට ප‍්‍රදේශය ම සිල්ලර මිල අතර වෙනසක් පැවතීම හේතුවෙන් ඒ සඳහා නිසි ක‍්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් ද කමිටුවේ අවධානය යොමු විය.

Related posts

Leave a Comment