ශ්‍රී ලංකාවේ හමුදාවට දඬුවම් කිරීමට යෝජනාවක් මානව හිමිකම් සමුළුවට යයි

කොටි ඩයස්පෝරාවේ දැඩි බලපෑම් මැද බ්‍රිතාන්‍යය ප්‍රමුඛ රටවල් පහක් ශ්‍රී ලංකාවේ හමුදාවට දඬුවම් කිරීම සඳහා ජාත්‍යන්තර වගවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ නව යෝජනාවක් ගෙනඒමට තීරණය කර ඇත. මේ සඳහා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට්ගේ සහය ලැබී ඇති අතර නව යෝජනාව පෙබරවාරි 24 සිට මාර්තු 19 තෙක් පැවැත්වෙන 46 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කෙරේ.

මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් දෙදෙනකු වූ නිමල්කා ප්‍රනාන්දු සහ අම්බිකා සකුනාදන් කවුන්සිලයේ ක්‍රියාකාරී කණ්ඩායමට පත් කර ඇත.

මේ අතර ශ්‍රී ලංකා හමුදාවට එල්ල වී ඇති චෝදනා ගැන කරුණු දැක්වීම සඳහා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා රජයට සතියක කාලයක් ලබාදී තිබේ.

ස්වෛරීභාවය ඇති රටක හමුදා ප්‍රධානියාට දඬුවම් කිරීම සඳහා ගෙන එන මෙම යෝජනාවට කොටි ඩයස්පෝරා සංවිධාන 200 ක් ද්‍රවිඩ සංධානය ප්‍රමුඛ සංවිධාන 118ක් සහ ජාත්‍යන්තර සංවිධාන 17 ක් එක් වී සිටින බව වාර්තා වේ.

මෙවන් සිද්ධියක් මෙයට පෙර මානව හිමිකම් කවුන්සිලය තුළ සිදු වී නැත.

මේ අතර මෙම නව යෝජනාව ප්‍රතික්‍ෂේප කරන බව ශ්‍රී ලංකා රජය මානව හිමිකම් කොමසාරිස්වරියට දන්වා ඇත. මානව හිමිකම් කවුන්සිලයේ මේ යෝජනාව තුවක්කු පෙන්වා අත්සන් කරන ලෙස ශ්‍රී ලංකාවට දැනුම් දීමට සමාන ක්‍රියාවක් බව රජයේ ආරංචි මාර්ග පවසයි

Related posts

Leave a Comment