පිළිකා පොල්තෙල් තොගයක් මැලේසියාවට ආපසු යවයි

‘ඇෆ්ලටොක්සීන්’ නමැති පිළිකා කාරක අඩංගු බවට පරීක්‍ෂණවලින් තහවුරු වූ පිරිපහදු නොකළ පොල්තෙල් මෙටි‍්‍රක් ටොන් 105ක් ඊයේ (12වැනිදා) නැවත මැලේසියාවට ප‍්‍රතිඅපනයනය කිරීමට ශ‍්‍රී ලංකා රේගුව විසින් කටයුතු කළ බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසීය.

ශ‍්‍රී ලංකා රේගුවේ පූර්ණ අධීක්‍ෂණය යටතේ කොළඹ වරායේ තිබූ, කටාන ප‍්‍රදේශයේ සමාගමක් විසින් ආනයනය කළ පොල්තෙල් තොගයක් මෙලෙස නැවත මැලේසියාවට ප‍්‍රතිඅපනයනය කිරීමට කටයුතු කළ බව රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

ඊයේ පෙරවරු 6.30ට පමණ කොළඹ වරායට ළ`ගාවූ ‘බාබරා’ නමැති නෞකාවට ඊයේ පෙරවරු 10ට පමණ එම පොල්තෙල් තොගය අඩංගු බහාලූම් 6ක් රේගු නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ පැටවූ බවද ඒ මහතා කියා සිටියේය. එම නෞකාව ඊයේ පස්වරු පහට පමණ කොළඹ වරායෙන් පිටත්වීමට නියමිතව තිබූ බවද සුදත්ත සිල්වා මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

Related posts

Leave a Comment