ආණ්ඩුව මැජික් කරන්න ලෑස්ති වෙනවා – මේක දේශප්‍රේමී කිව්වට තවත් ජේ.ආර් පන්නයේ ආණ්ඩුවක්

මිලිටරිකරණය,ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය,තමන්ට විරුද්ධ මත නිහඬ කිරීම,විකිණීම යන මෙම කාරණා එකවර පැමිණ ඇති අතර එය ජනතාව  විසින් ඉතා ඉක්මණින් වටහාගත යුතුව  ඇති බවත් දේශප්‍රේමී ආණ්ඩුවක් ගෙන එන බවට කතා කළද පැමිණ තිබෙන්නේ ජේ.ආර් පන්නයේ ආණ්ඩුවක් බවත් කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවසීය..

“මේ ආණ්ඩුව තවමත් වචන විජ්ජාවක් කරන්න ලෑස්ති වෙන්නේ. චන්ද්‍රිකා මැතිණිය අනූ ගණන්වල විකුණනවට කිව්වේ ප්‍රතිව්‍යුහගත කරනවා කියලා. පහුගිය කාලේ යහපාලන ආණ්ඩුව කිව්වේ අපි විකුණන්නේ නැහැ බදු දෙනවා කියල. මේගොල්ලෝ දැන් අලුත් වචනයක් ගෙනල්ලා තිබෙනවා ආයෝජනය කරනවා කියල. මොන වචන සුත්‍ර දාලා කරත් වෙන්නේ අවසානයේ වරායේ අයිතිය මේ රටේ ජනතාවට අහිමි වෙන එක. අද වරාය  බේරගන්න වෙලා තියෙන්නේ පහුගිය ජනාධිපතිවරණ,මහමැතිවරණ කාලයේ රට බේරගන්න එනවා කිව්වා නායකයාගෙන්. මේක ඛේදවාචකයක්. රට බේරගන්න ආපු නායකයාගෙන් ජනතාවට සිද්ධ වෙලා තියෙනවා අද වරාය බේරගන්න. ඒ නිසා අපි මේ රටේ ජනතාවට පණිවිඩයක් දෙනවා, තාත්තා ලෑස්ති වෙනවා නම් තමන්ගේ දුවව අඹුකමට ගන්න ඒ වගේ පවුලක අම්මා කෙනෙක් කරන දෙයක් තියෙනවා. අම්මා කෙනෙක්ට කරන්න සිද්ධ වෙන දෙයක් තියෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව ලෑස්ති වෙනවා නම් මේ රටේ දේපළ, මේ රටේ ජනතාවගේ සම්පත් මේ විදිහට විකුණන්න වරාය විතරක්  නෙවෙයි අපට තොරතුරු ලැබිලා තියෙනවා රක්ෂණ සංස්ථාවව විකුණන්න හදනවා කියලා,මේ රටේ ප්‍රධාන ඉඩම් ටික විකුණන්න හදනවා කියලා වාර්තා වෙනවා. MCC හරහා ගෙනෙන්න ලෑස්ති වුණ ඉඩම් පනත නැවත ගෙනෙන්න ලෑස්ති වෙනවා කියල. ඒ වගේම අර්ථ සාධක අරමුදල කොල්ලකන්න ලෑස්ති වෙනවා කියල තොරතුරු වාර්තා වෙනවා. මේ අභියෝගය ඇවිත් තියෙන්නේ මුළු රටේම ජනතාවගේ  අයිතිවාසිකම් වලට, දේපොළ වලට.” බව නාගමුව මහතා තවදුරටත් පැහැදිලි කරන ලදී

Related posts

Leave a Comment