අන්තවාදි සංවිධාන තහනම් කිරීමේ ගැසට්ටුව නිකුත් කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව ඉස්ලාම් අන්තවාදි සංවිධාන 11ක් තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. එක්සත් තව්හිද් ජමාත්, සිලෝන් තව්හිද් ජමාත්, ශ්‍රී ලංකා තව්හිද් ජමාත්, සමස්ත ලංකා තව්හිද් ජමාත්, ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා, දාරුල් අදර්, ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය, ඉස්ලාමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඩ් සිරියා හෙවත් අයි.එස්.අයි.එස්, අල් කයිඩා, සේව් ද පර්ල්ස් සහ සුපර් මුස්ලිම් යන සංවිධාන මෙරට තහනම් සංවිධාන ලෙස නම් කර තිබේ. රට තුළ සාමය අඛණ්ඩව පවත්වාගෙන යෑම තහවුරු කිරීමේ කාර්යය සඳහා ශ්‍රී ලංකා රජය විසින් සද්භාවයෙන් දරන ලද ප්‍රයන්නයන් වැඩි දියුණු කර ගැනීමේ අරමුණින් සහ ජාතික ආරක්ෂාව, මහජන සාමය සහ නීතියේ අධිපත්‍යයේ හිත සුව පිණිස එම සංවිධාන තහනම් කර ඇති බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ. නිකුත් කළ ගැසට් නිවේදනය අනුව මෙරට තුළ හෝ මෙරටින් පිටත දී කිසිදු පුද්ගලයකු විසින් එම සංවිධානයක හෝ සංවිධානය නියෝජනය කරන හෝ සංවිධානය වෙනුවෙන් ක්‍රියා කරන පුද්ගලයන් ඒ හා සම්බන්ධ වීම ඒ කෙරෙහි සැලකිල්ලක් දක්වන වෙනත් යම් සංවිධානයක ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට හෝ ඒ කෙරෙහි සැලකිල්ලක් දක්වන බවට සාධාරණ සැකයක් පවතින වෙනත් යම් සංවිධානයකට සහාය නොදිය යුතු වේ. එමෙන්ම එම සංවිධානයක සාමාජිකයකු හෝ සමූහයක සාමාජිකයකුවීම, නායකත්වය සැපයීම, නිල ඇඳුම්, ඇඳුම්, සංකේත, ලාංඡන හෝ ධජ පැලඳීම, ප්‍රදර්ශනය කිරීම, රැස්වීම් කැඳවීම, රැස්වීම් පැවැත්වීම හෝ ඊට සහභාගිවීම, සාමාජිකත්වය ගැනීම හෝ බැඳීම, එහි සාමාජිකයකුට හෝ සමූහයකට රැකවරණය සැලසීම, මුදල් හෝ ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම තහනම් බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ. එම ගැසට් නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ කිසියම් පුද්ගලයකු විසින් එම නියෝග උල්ලංඝනය කරන්නේ නම් ඔහුට විරුද්ධව මහාධිකරණයක් මඟින් වසර 20ක් නොඉක්මවන සිර දඬුවම් නියම වන බවයි.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment