අලුත් අවුරුදු දා මාර්ග අනතුරු රැසක්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනයේදී (14) අධිවේගී මාර්ගයේ සහ අනෙකුත් මාර්ගවල රිය අනතුරු 121ක් පමණ සිදුව තිබෙන අතර, ඒ අනතුරුවලින් මේ වන විට 14 දෙනකු මිය ගොස් 74 දෙනකු තුවාල ලබා ඇති බවයි. මෙයින් මරණ 10ක්ම වාර්තා වන්නේ පෙරේදා (13) පැය විසි හතරක කාලය තුළ බව ඔහු පැවසීය. අලුත් අවුරුදු දිනය තුළ අධිවේගී මාර්ගවල වූ රිය අනතුරු සංඛ්‍යාව 12ක් වන අතර, වෙනත් මාර්ගවලදී රිය අනතුරු 109ක් වාර්තා වී තිබේ. එලෙස රිය අනතුරුවලට වැඩි වශයෙන් ලක්ව ඇත්තේ යතුරුපැදි වන අතර, එම සංඛ්‍යාව 53කි. අනතුරුවලට ලක් වූ ත්‍රිරෝද රථ සංඛ්‍යාව 30කි. අලුත් අවුරුදු දින කිහිපය තුළද රිය අනතුරු තවත් ඉහළ යා හැකි බැවින් රියැදුරන් ප්‍රවේශමෙන් රිය ධාවනය කළ යුතු බවත් බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා තව දුරටත් අඛණ්ඩව මෙහෙයුම් කරන බවද නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කරයි. අලුත් අවුරුදු දිනයේ (14) තුළ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 11ක් තුළ ස්ථාන තුනක වූ අනතුරු තුනකින් වාහන 12කට හානි වී එක් අයකු තුවාල ලබා ඇතැයි අධිවේගී මාර්ග පොලිසිය පැවසීය. කිලෝ මීටර් 19 සහ 30 අතර ස්ථනවල මේ අනතුරු තුනම සිදුව තිබෙන අතර, එක් ස්ථානයක වාහන 12ක්ද තවත් ස්ථානයක වාහන හතරක් හා තවත් ස්ථානයක වාහන තුනක් වශයෙන් ගැටී ඇතැයි පොලිසිය කියා සිටියි. මේ හේතුවෙන් අධිවේගී මාර්ගයේ පැය ගණනක් දැඩි වාහන තදබදයක් පැවති අතර, පෙරේදා දින විශාල පිරිසක් කොළඹින් පිටව අධිවේගී මාර්ගය භාවිත කළ අතර, අධික වාහන තදබදය හේතුවෙන් මේ අනතුරු සිදුව ඇති බවත් කියා සිටියේය.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment