විපක්ෂය පෝර්ට් සිටි ව්‍යාපෘතිය අඩාළ කිරීමේ වෑයමක – ඇමැති මහින්දානන්ද කියයි

කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අමෙරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය විසින් කරන ලද ප්‍රකාශය රජය ප්‍රතික්ෂේප කරන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඊයේ (16) පැවසීය. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත මඟින් අමෙරිකානු තානාපතිනිය පවසන පරිදි මුදල් විශුද්ධිකරණයක් නොවන බවත් එම පනත මෙරට නීතියට අනුව ව්‍යවස්ථානුකූලව සකස් කරන ලද්දක් බවත් හෙතෙම පැවසීය. නීතිපතිවරයා ද මේ පනත පිළිගෙන තිබෙන බව කී ඒ මහතා, විපක්ෂය විසින් මේ සම්බන්ධයෙන් බොරු භීතිකාවක් මවා පාන බවද කීවේය. මේ ව්‍යාපෘතිය නිත්‍යනුකූල බවට සහතික වන බවත් ඊට අවශ්‍ය කරන සියලු ලේඛන රජය සතුව පවතින බවත් කිසි ආකාරයේ කොළය වසා ගැසීමේ ක්‍රියාවක් මේ තුළ නොමැති බවත් හෙතෙම පැවසීය.

මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙය ව්‍යවස්ථානුකූලද නැද්ද යන්න නඩු විභාගයෙන් පසුව තීරණය කරනු ඇති බවත් අලුත්ගමගේ මහතා කීවේය.

මේ ව්‍යාපෘතිය අඩාල කිරීම පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් පවතින බවත් බලහත්කාරයෙන් ආණ්ඩුව කිසිවක් නොකරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව කටයුතු කරන බවටත් හෙතෙම පැවසීය. වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව කිසි ලෙසකින් රටට අහිත කර තීන්දු තීරණ නොගන්නා බවත් විපක්ෂය සත්‍ය නොදැන කරුණු විකෘති කරමින් විවිධ ප්‍රකාශ කරන බවත් ප්‍රකාශ කළ ඒ මහතා, විපක්ෂය පවසන පරිදි නීතිය හා අණ-පනත් උල්ලංඝනය කරමින් ආණ්ඩුව කිසිදු තීරණයක් නොගන්නා බවත් කීවේය.

Related posts

Leave a Comment