රවීට ඇප දුන්නාට නීතිපතිගෙන් විරෝධයක්

මහ බැංකු බැඳුම්කර වෙන්දේසියකට රජයට අයත් පොදු දේපළක් වන රුපියල් බිලියන 36.98 ක මුදලක් සාපරාධි පරිහරණය ඇතුළු චෝදනා යටතේ පවරා තිබූ නඩුවේ රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් අටදෙනාට ඇප ලබාදෙමින් කොළඹ විශේෂ ති‍්‍රපුද්ගල මහාධිකරණය නිකුත් කළ ඇප නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ඊයේ (19 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ගොනු කළේය.

තම නිලධාරීන් ඉදිරිපත් කළ විරෝධතා ප‍්‍රතික්‍ෂේප කරමින් පසුගිය 1 වැනිදා පස්වරුවේ කොළඹ විශේෂ මහාධිකරණය 2/3 බහුතර නියෝගයකින් විත්තිකරුවන් ඇප මත මුදාහළ බවත් එකී නියෝගය නීතියට පටහැනි බැවින් එය අවලංගු කර විත්තිකරුවන් නැවත රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් නීතිපතිවරයා එමගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

විත්තිකරුවන් ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් වෙන්ව නියෝගයක් නිකුත් කළ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඔවුන් තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කළ යුතු බවට තීන්දු කොට තිබූ නමුත් විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු දමිත් තොටවත්ත මහතා සහ සාමාජික විනිසුරු මොහොමඞ් ඉසර්ඞීන් මහතා වෙන් වෙන්ව නියෝග ප‍්‍රකාශයට පත්කරමින් විත්තිකරුවන් ඇප මත මුදාහැරීමට නියෝග කොට තිබිණි.

2016 මාර්තු 29 වැනිදා පැවැති මහ බැංකු බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් බිලියන 36.98 ක මුදලක් සාපරාධි පරිහරණය ඇතුළු අධිචෝදනා 32 ක් යටතේ නීතිපතිවරයා එම නඩුව පවරා තිබිණි
උපුටා ගැනීම – දිවයින පුවත්පත

Related posts

Leave a Comment