සීනි බෝල කවන්න හදල හරි යන්නේ නෑ – අපි කොණ්ඩෙ බැඳපු චීන්නු කියලා ද හිතන්නේ? – කාදිනල් හිමිපාණෝ

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වත්මන් රජයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ පවසති.

උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (අප්‍රේල් 19) කොළඹ අගරදගුරු නිල නිවසේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

“හුඟාක් දේවල් තව කරන්න තියෙනවා. ඔය එහෙන් මෙහෙන් එක්කෙනෙක් දෙන්නෙක් ඇතුළට දානවා ඊට පස්සේ ආයේ එළියට දානවා අරවා මේවා එහෙම බෑ.

උදාහරණයක් වශයෙන් පැහැදිලිව ම 20 වන සංශෝධනයට ඡන්දය ලබාදීමේදී යම් ආකාරයක අමුතු ජාතියක ඡන්ද ප්‍රකාශ කිරීමක් සිදු වුණා. ඒකට මොකක් ද හේතුව කියලා අපි හොයන්න ඕනේ. ඇයි එක පක්ෂයේ නායකයෙක් එක විදියකට ඡන්දය දාලා ඒ පක්ෂයේ සාමාජිකයෝ තුන් දෙනෙක් අනික් විදියට දැම්මේ. එතකොට මොකක් ද ඒකේ රහස? මොකක් ද කියලා හොයන්න ඕනේ.

අර කතාවක් තියෙන්නේ, කොණ්ඩෙ බැඳපු චීන්නු කියලා. එහෙම ද හිතන්නේ අපි ගැන? අපිට මේක තේරුම් ගන්න බැරිද? පක්ෂයේ නායකයා දන්නවා 20 වන සංශෝධනයට විරුද්ධව, පක්ෂයේ සාමාජිකයෝ 7 දෙනෙක් දානවා 20 වන සංශෝධනයට පක්ෂව. අනිත් එක මේ දාන්නේ 20 වන සංශෝධනය සම්මත කර ගන්න යම් ආකාරයක මුස්ලිම් ඡන්ද මට ඕනේ නැහැයි කියාපු කෙනෙක් සම්බන්ධව. කොහොම ද එතකොට ඒ වෙනස ඇති වෙන්නේ? එතකොට අපිට සාධාරණ සැකයක් ඇති වෙනවා මේ තුළ යම් ආකාරයක ඩීල් එකක් තියෙනවා ද?

මං ඒ ගැන කිව්වා ටික දවසකට ඉස්සෙල්ලා රිෂාඩ් බදියුදීන් හිටපු ඇමතිතුමාගේ මල්ලිව නිදහස් කරපු වෙලාවේ මං ඒ ගැන කිව්වා. කිව්වට පස්සේ, එහෙම එකක් කළේ නෑ කියලා කිව්වා. නමුත් ඊට දවස් කීපයකට පස්සේ අර 20 වන සංශෝධනයේ ඡන්දේදී ඒක පැහැදිලි වුණා යම් අකාරයකට understanding එකක් ඇතුව තමයි ඒ ඡන්ද දැමීම සිදු වුණේ කියලා. එතකොට ඒක අපිට සාධාරණ සැකයක් අපේ හිත ඇතුළට ඇවිල්ලා තියෙනවා.”

එමෙන් ම, එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කාදිනල් හිමිපාණෝ පැවසුවේ, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ පාස්කු ප්‍රහාරයට වග කිවයුතු එක් අයෙකුගේ නමක් පමණක් නොව නම් කිහිපයක් සඳහන්ව ඇති බවය.

එම වාර්තාවේ පාස්කු ප්‍රහාරය සඳහා අනුග්‍රහ සහ අනුබල දුන් අයගේ ද නම් සඳහන් ව ඇති බව උන්වහන්සේ පැවසූහ.

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් එහිදී අවධාරණය කළේ, එම පුද්ගලයින් පිළිබඳව මීට වඩා විමර්ශනය කළ යුතු බව පාස්කු වාර්තාවේ නිර්දේශ කර ඇති බවත් ඒ සියලු අය සම්බන්ධයෙන් කටයුතු නොකර එක් අයෙකු හෝ දෙදෙනෙකුට එරෙහිව පමණක් කටයුතු නොකර මෙම ප්‍රශ්නය නිවැරදි විසඳුම ලබා දිය යුතු බවත් ය.

මාධ්‍යවේදියා: “මේ ප්‍රහාරයේ මුලින් ම මහ මොළකරු විදියට හඳුනාගෙන තිබුණේ සහරාන්ව. නමුත් පසු කාලීනව නෞෆර් මවුලවි තමයි මේක කරේ කියලා අනාවරණය වුණා කියලා රජයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියවුණා. දැන් මේ වෙනකොට තව 30 දෙනෙකුට විතර නීතිය ක්‍රියාත්මක කරන්නේ ඕනේ කියලත් කියනවා. ඔබ වහන්සේ සෑහීමකට පත්වීමක් තියෙනවා ද මේ ගැන?”

කාදිනල් මැල්කම් රංජිත් හිමිපානන්: “ජනාධිපති කොමිෂන් වාර්තාවේ එක්කෙනෙක්ගේ නම විතරක් නෙමෙයි. නම් කිහිපයක් ම සඳහන් කරලා තියෙනවා. තව ඒවායේ තියෙනවා මේකට අනුග්‍රහය දක්වපු අනුබල දුන්නු සමහර අයගේ නම් තියෙනවා. එතකොට කියලා තියෙනවා මේ අය පිළිබඳව මීට වඩා පරීක්ෂණ පැවැත්විය යුතුයි කියලා. විමර්ශන පැවැත්විය යුතුයි කියලා කියලා තියෙනවා.

ඒ ඔක්කෝම දේවල් කරන්නේ නැතුව නිකම් මේ එක්කෙනෙක් දෙන්නෙක් අල්ලලා ඇතුළට දාලා එයාලට විරුද්ධව ඇක්ෂන්ස් අරගෙන හරියන්නේ නැහැ. අපිට සීනි බෝල කවන්න හදලා හරියන්නේ නැහැ. අපිට ඕනේ මේ ප්‍රශ්නය හරියට ම තේරුම් අරගෙන, ඒ ප්‍රශ්නයට විසඳුම දෙනවට.”

Related posts

Leave a Comment