මැයි දින රැළි නොපැවැත්වීම හෙළා දකිනවා

සියලු දේශපාලන පක්ෂවල මැයි දිනය පවත්වන්නේ නැතැයි ආණ්ඩුව කිව්වත් එවැනි සාකච්ඡාවකට පෙරටුගාමී සමාජවාදි පක්ෂය කැඳවා නැති අතර එම තීරණය හෙළා දකින බව පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඉකුත් (20) නුගේගොඩ පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි. එහිදි වැඩි දුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීවේය. පොලිසිය 19දා රැස්වීමක් කැඳවා තිබුණා. සුපුරුදු පරිදි මැයි දින සැමරීමේදී ඉඩකඩ බෙදාදීම හා පෙළපාළි හැසිරීම් ගැන සාකච්ඡා කිරීමට මේ අවස්ථාවට පැමිණි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් කියා සිටියා කොවිඩ්19 වසංගතයේ වැඩිවීමක් වාර්තා වෙනවා, ඒ නිසා ඉදිරියේදී තවත් සෞඛ්‍ය උපදෙස් දීමට පියවර ගන්නවා කියා. එහිදි මැයි දින රැලි පවත්වන්නේ නැහැ කියා සාකච්ඡා වුණේ නැහැ. එහෙනම් 20දා පැවැති සාකච්ඡාව කුමක්ද?. ඒ රැස්වීමට එන්න කිව්වේ කව්ද? සහභාගිවුණේ කව්ද? කම්කරු දිනය සමරන්නේ නැහැ කියා කව්රු එකතුවෙලාද තීරණය කළේ.

හිටපු පාලකයෝත් විවිධ ලෙස මැයිදිනය නොපැවැත්වීමට කටයුතු කළා. ඒ නිසා ඉකුත් වසර තුනේදි මැයි දින තහනමක් නිල නොවන ආකාරයට සිදු වුණා. ඒ නිසා සියලු දේශපාලන පක්ෂ එකතු වී ගත්තා කියන තීරණය අප හෙළා දකිනවා. මැයි දිනය සමරන්න සූදානම් වන පක්ෂ ගණනාවක් මේ රැස්වීමට සහභාගි වී නැති බව තමයි ආරංචිය තිබෙන්නේ. මෙය ප්‍රජාතන්ත්‍ර විරෝධි වැඩක්. මේ රටේ කම්කරු දිනය සැමරීම තීරණය කරන්න ඕනේ ආණ්ඩුව නොවේ එය තීරණය කරන්න ඕනේ කම්කරු ව්‍යාපාර වෘත්තීය සමිති ව්‍යාපාරයි.

ආණ්ඩුව විරුද්ධව එන විවේචන, සංවාද නවත්වා ගැනීම මෙහි අරමුණයි. මේක දිගටම ගෙනහින් පළාත් සභා මැතිවරණය තියන්න ඕනේ වන විට මේ නූල හෙමිහිට බුරුල් කරනවා. ඒකත් අපට බලාගන්න පුළුවන්. වසංගතය යොදාගෙන ආණ්ඩුවට එන චෝදනා මැඬපවත්වා ගැනීමට තමයි හදන්නේ.

Related posts

Leave a Comment