විශ්ව විද්‍යාල සිසුන්ගේ පරිහරණය සදහා බැටික්ලෝ කැම්පස් පහසුකම් යොදා ගනී

අධ්‍යාපන ඇමති මහාචාර්ය ජි එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී අද (22) ප්‍රකාශ කළේ පේරාදෙනිය හා කොළඹ යන විශ්ව විද්‍යාලවල පවා නොමැති අති නවීන පහසුකම් වලින් සමන්විත බැටික්ලෝ කැම්පස් ආයතනයේ පහසුකම් විශ්ව විද්‍යාල සිසුන්ගේ පරිහරණය සඳහා  භාවිත කිරිමට කඩිනමින් කටයුතු කරන බවයි. බැටික්ලෝ කැම්පස් ආයතනයේ පහසුකම් විශ්ව විද්‍යාල  සඳහා යොදා ගැනීම වෙනුවෙන් විකල්ප දෙකක් මේ වනවිට ඉදිරිපත් කර ඇති බවද ඇමතිවරයා පැවසිය.  ඉන් පළමු විකල්පය නම් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නැගෙනහිර මණ්ඩපය ලෙස බැටික්ලෝ කැම්පස් ආයතය යොදා ගැනීම වන අතර දෙවැනි විකල්පය ලෙස රජයේ තවත් විශ්ව විද්‍යාලයක් ලෙස එය භාවිත කිරීම බවද ඇමතිවරයා සඳහන් කළේය.  ‍මේ වනවිට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ මණ්ඩපයක් සූරියවැව ප්‍ර දේශයේ පිහිටුවා ඇති අතර නැගෙනහිර ප්‍ර දේශයේ මණ්ඩපය ලෙස බැටික්ලෝ කැම්පස් ආයතනය භාවිත කළ හැකි බවද හෙතෙම පැවසිය. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ඔස්සේ විශාල සේවයක් සිදුවන අතර ඔවුන්ගේ වෛද්‍ය පීඨය සඳහා සිසුන් සියයක් බඳවාගත් බවද ඇමතිවරයා සඳහන කළේය. එමෙන්ම දෙවැනි විකල්පය ලෙස නැගෙනහිර පළාත ආවරණය වන පරිදි තවත් රාජ්‍ය  විශ්ව විද්‍යාලයක් මෙම පරිශ්‍රය තුළ ආරම්භ කිරීම කෙරෙහිත්  අවධානය යොමුව තිබෙනව බවද ඇමතිවරවා කීය.  කෙසේ වුවද මෙම විකල්ප දෙකෙන් කවරක් හෝ කඩිනමින් ක්‍රියාත්මක කරන අතර රාජ්‍ය විශ්ව විද්‍යාල සඳහා මෙම වසරේදි බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව 40500 දක්වා වැඩිකරන බවද ඇමතිවරයා හෙළි කළේය.එමෙන්ම මේ වනවිට රාජ්‍ය විශ්ව විද්‍යාල  16 ක් පවතින අතර 17 වන විශ්ව විද්‍යාලය ලබන මාසයේදි විවෘත කරන බවද  ජි එල් පීරිස් මහතා සඳහන් කළේය.  බැටික්ලෝ කැම්පස් ආයතනය වෙත උපාධි පිරිනැමීමේ බලයක් ලබාදි නොමැති අතර  එම ආයතනය විශ්ව විද්‍යාලයක් නොවන බවත් ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

උපුටා ගැනීම – දිණමින පුවර්හ් පතිනි.

Related posts

Leave a Comment