හයිවේ නළුවෝ ගෙදර යති

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෝටර් රථයක දොර කවුළු මත නැගී අපරීක්ෂාකාරි අන්දමින් ගමන් කර රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පුද්ගලයන් පස්දෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇපමත මුදාහරින ලෙස පානදුර අතිරේක මහෙස්ත‍්‍රාත් චන්දන කලංසූරිය මහතා නියම කළේය.

මහනුවර උඩතලවින්න සහ අකුරණ ප‍්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් මෙසේ ඇපමත මුදා හැරිණි. දින දහයක් පමණ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සිය සේවාදායකයන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමෙන් අනතුරුව වරද පිළිගැනීමට ඔවුන් සූදානමින් සිටින බවත්, සිද්ධිය සම්බන්ධයෙන් කනගාටු වන බැවින් ඇප පනතේ 14 වගන්තිය ප‍්‍රකාරව ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබා දෙන්නැයි විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිල නාවලගේ සහ නීතිඥ රජිව් පී. විතාන යන මහත්වරුන් විසින් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන මහෙස්ත‍්‍රාත්වරයා ඇප නියම කළේය. මොවුන් ගාල්ල ප‍්‍රදේශයේ විනෝද චාරිකාවක් සඳහා යමින් සිටියදී මෙලෙස විනය විරෝධී ආකාරයෙන් හැසිරී ඇති බවටත් වෙනත්, වාහනයක කැමරාවක පටිගත වී ඇති දර්ශන අන්තර් ජාලයට මුදාහැර තිබූ බවටත් අධිකරණයේ දී කරුණු අනාවරණය විය. විත්තිකරු වෙනුවෙන් නීතිඥ රජිව් පී. විතාන මහතාත්, 2 සිට 5 දක්වාවූ විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ අමිල නාවලගේ මහතා පෙනී සිටි අතර පොලිසිය වෙනුවෙන් සැරයන් එච්. එම්. සම්පත් (37199) කරුණු ඉදිරිපත් කරන ලදී. නඩුව ලබන නොවැම්බර් 25 යළි කැඳවීමට නියමිතය.

Related posts

Leave a Comment