වරාය නගර කෙටුම්පත භයානකයි

හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ වරාය නගරය පිළිබඳ අලුතින් සකස් කර ඇති පනත් කෙටුම්පත භයානක බවයි. මාධ්‍ය වෙත ඊයේ (22) විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව පැවසීය. එම පනත මඟින් මුදල් අමාත්‍යාංශය වඳ කර ඇතැයිද වික්‍රමසිංහ මහතා කීය. ඒ මහතා මෙසේද සඳහන් කළේය.

කොළඹ වරාය නගරය තුළ කොළඹ මූල්‍ය මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට මා 2016 දී කැබිනට් මණ්ඩලයට යෝජනා කළා. ඒ වෙනුවෙන් අප නීති සකස් කළා. නීතිය හැදීම අපේ වගකීම වූ අතර යටිතල පහසුකම් සලසා දීම අදාළ සමාගමේ වගකීම වුණා. අප නීති කෙටුම්පතක් සකස් කළා. වරාය නගරයේ සම්බන්ධ වැඩ කටයුතු කිරීම අදාළ සමාගමේ වගකීමක්. මේ අනුව අප නීති රාමුවක් කෙටුම්පත් කළා. ඊට අමතරව නීති විටින් විට සම්මත කර ගැනීම සඳහාත් නීති ගණනාවක් අවශ්‍ය වෙනවා. එයින් අප ව්‍යවස්ථාදායකයේ, අධිකරණයේ මෙන්ම කැබිනට් මණ්ඩලයේ බලතල ආරක්ෂා කළා. එහෙත් මේ අලුත් කෙටුම්පත භයානකයි. එයින් ව්‍යවස්ථාදායකයේ, අධිකරණයේ සහ කැබිනට් මණ්ඩලයේ බලතලත් ඉවත් කර තිබෙනවා. වෙනත් කිසිම රටක මෙවැනි තත්ත්වයක් වී නැහැ. මෙවැනි දෙයක් කරන්නේ ඇයි දැයි අප දැන ගත යුතුයි. වෙනත් කිසිම රටක මහ බැංකුව හෝ පාලනය කරන කොමිසම සූදු පොළවල් පිහිටුවීමට බලය දී නැහැ. මේ දෙක එකතු කිරීමෙන් කරන්නේ මුදල් විශුද්ධිකරණයද යන ප්‍රශ්නය ඇති වී තිබෙනවා. අවුරුදු නොනගතය අවස්ථාවේ මේ පනත රිංගන්නට හදන්නේ ඇයි? මේ පිළිබඳ අප වසර දෙකක් කතා කළා. මේ පනත හරහා මුදල් අමාත්‍යාංශය වඳ කර තිබෙනවා. එම අමාත්‍යාංශයේ බලය නැති කර තිබෙනවා. මේ ආකාරයේ විවිධ ප්‍රශ්න තිබෙනවා. මේ සම්බන්ධ ගැටලු සාකච්ඡා කරමු යැයි අප ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment