චෙන්නායි සුපර් කිංග්ස් දිනයි

චෙන්නායි සුපර් කිංග්ස් පිල අයිපීඑල් ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක ජයක් හිමි කර ගැනීමට සමත් විය. මුම්බායිහිදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් චෙන්නායි පිල ලකුණු 220ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය කොල්කටා පිලට 19.1කදී සියල්ලන් දෙනා දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 202ක් පමණි. කොල්කටා ඉනිමේ මුල් කඩුලු 5 ලකුණු 31ක් තුළ බිඳ වැටුණු අතර, ඇන්ඩ්‍රි රසල් සහ පැට් කමින්ස් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට උත්සාහ කළද එය අසාර්ථක විණි. රසල් පන්දු 22කින් ලකුණු 54ක් සහ කමින්ස් පන්දු 34කදී නොදැවී ලකුණු 66ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී දීපක් චහාර් කඩුලු 4ක් සහ ලුන්ගි එන්ගිඩි කඩුලු 3ක් දවා ගත්තේය.

චෙන්නායි ඉනිමට වේගවත් ආරම්භයක් දුන් ෆෆ් ඩු ප්ලෙසිස් නොදැවී ලකුණු 90ක් රැස් කළ අතර, ඔහුට අනගි සහායක් දුන් රුටුරාජ් ගයික්වාඩ් ලකුණු 64ක් රැස් කළේය. හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් එල්ල කළ ප්ලෙසිස් පන්දු 60කට මුහුණ දුන් අතර, ගයික්වාඩ් පන්දු 42කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් ඉනිමට එක් කර ගෙන තිබිණි. මේ අතර, මේ තරගයේ නියමිත කාලය තුළ ඕවර සංඛ්‍යාව සම්පූර්ණ නොකිරීම හේතුවෙන් කොල්කටා පිලේ නායක ඔයින් මෝගන්ට ඉන්දීය රුපියල් ලක්ෂ 12ක දඩයක් නියම කෙරිණි. අයිපීඑල් චර්යාධර්ම සංග්‍රහය යටතේ කොල්කාටා පිල සිදු කළ පළමු වරද මෙය වන අතර, මෙය පළමු අවස්ථාව බැවින් ලක්ෂ 12ක දඩයක් නියම කෙරුණ ද එම වරද දෙවැනි වරටත් සිදු කළ හොත් නායකයාට දඩ මුදල දෙගුණයක් (ලක්ෂ 24ක්) වන අතර, කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ට තරග ගාස්තුවෙන් සියයට 25ක් හෝ ඉන්දීය රුපියල් ලක්ෂ 6ක දඩයක් නියම කෙරේ.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment