වරාය නගර කොමිසමට එරෙහි පෙත්සම් සලකා බැලීම අවසන්

ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (23) සඳහන් කලේ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම් පතෙහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සිය තීන්දුව ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත දන්වා යවන බවයි. එම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් 19ක, අතරමැදි පෙත්සම් දෙකක සහ පනතට පක්ෂව ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් 11ක විභාගය අවසන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව ප්‍රකාශ කළේය. පෙත්සම් සම්බන්ධ ලිඛිත දේශන අඟහරුවාදා පෙරවරු 10.00ට පෙර ගොනුකරන ලෙස පාර්ශ්වයන්ට නියම කරන ලදි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා යන පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවෙහි දින 5ක් පුරා මෙම පෙත්සම් විභාගය පැවැත්විණි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, ජී. එල්. ආර්. පෙරේරා, පුරවැසි බලය සංවිධානයෙහි කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ, එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර එහි සභාපති වජිර අබේවර්ධන, සමඟි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර එහි තරුණ පෙරමුණේ හර්ෂණ රාජකරුණා, ජනතා විමුක්ති පෙරමුණේ ‍දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ, වෘත්තීය සමිති නායක ලෙස්ලි දේවේන්ද්‍ර, ජී. එස්. ශ්‍යාමලී, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, නීතිඥ රජිත කොඩිතුවක්කු, ආචාර්ය අජන්තා පෙරේරා, ආර්ථික විශේෂඥ බන්දුල චන්ද්‍රසේකර, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල්, නාගානන්ද කොඩිතුවක්කු, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් එහි ලේකම් නීතිඥ රජීව් අමරසූරිය, නීතිඥ රවීනා ගයේන්ද්‍රි ද සිල්වා විසින් මෙම පෙත්සම් ගොනුකර තිබුණි. දුමින්ද නාගමුව, ඩබ්ලිව්. ඒ. එච්. කුමාර, ආර්. රාජපක්ෂ විසින් අතරමැදි පෙත්සම් ද ගොනු කර තිබුණි. මෙම පනත් කෙටුම්පතෙහි වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කර එය පාර්ලිමේන්තුවේ 3/2 බහුතර ඡන්දයෙන් සහ ජනමත විචාරණයකදී සම්මත කළ යුතු බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කළ මෙම පෙත්සම් වෙනුවෙන් නීතිවේදීහු 19 දෙනකු කරුණු ඉදිරිපත් කළහ.

මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්, ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර, ලක්ෂ්මන් සිරිවර්ධන, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල, කැබිනට් මණ්ඩල ලේකම් ඩොනල්ඩ් ප්‍රනාන්දු, චමින්ද විදානගම, එච්. එම්. විජිත හේරත්, ඊ. ඩබ්ලිව්. නලීන් සමරකෝන්, පී. බී. කරුණාතිලක විසින් අතරමැදි පෙත්සම් 11ක් ගොනුකර තිබුණි. ඔවුන් වෙනුවෙන් නීතිඥවරු 08 දෙනකු විසින් කරුණු ඉදිරිපත් කළහ. නීතිපතිවරයා ‍විසින් අතිරේක සොලිසිටර් ජනරාල් ෆර්සානා ජමීල් මහත්මිය පෙනී සිටිමින් කමිටු අවස්ථාවේදී මෙහි ඇතැම් වගන්ති සංශෝධනය කිරීමට යෝජිත බව සඳහන් කළාය. ඇය කරුණු ඉදිරිපත් කරමින් සදහන් කලේ මෙම පනත් කෙටුම්පතෙහි වගන්ති ව්‍යවස්ථාවට පටහැණි නොවන අතර එය නීතියක් බවට පත් වීමට සරල බහුතරයෙන් සම්මත වීම ප්‍රමාණවත් බවයි.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment