ශ්‍රී ලංකා පිල කඩුලු 3කට ලකුණු 229යි

පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම තෙවැනි දිනයට ක්‍රීඩාව නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 229ක් රැස් කර ගෙන සිටියේය. සංචාරකයන් සිය පළමු ඉනිම ලකුණු 541කින් නතර කළ අතර, ඒ අනුව කඩුලු 7ක් අතැතිව සිටින ශ්‍රී ලංකා පිල බංග්ලාදේශ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 312ක් පසුපසින් සිටී. දිනය නිමා වන විට දිමුත් කරුණාරත්න ලකුණු 85ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 26ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියේ සිව්වැනි කඩුල්ලට ලකුණු 39ක සබඳතාවක් ද සමඟිනි.

පන්දු 211කට මුහුණ දුන් කරුණාරත්න හතරේ පහර 8ක් එල්ල කර තිබූ අතර, ඔහු ඊයේ රැස් කළේ 26 වැනි ටෙස්ට් අර්ධ ශතකයයි. ධනංජය පන්දු 30කදී හතරේ පහර 4ක් වාර්තා කර තිබිණි. ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක අඩිතාලමක් දැමීමට නායක දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න සමත් වූයේ පළමු කඩුල්ලට ශතක සබඳතාවක් ගොඩනඟමිනි. ඊයේ සිය 10 වැනි ටෙස්ට් අර්ධ ශතකය රැස් කළ තිරිමාන්න මුළු ලකුණු 114දී ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ මෙහෙදි හසන්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙනි. පන්දු 125කට මුහුණ දුන් ඔහු හතරේ පහර 8ක් සමඟින් ලකුණු 58ක් රැස් කළේය. තිරිමාන්නගේ දැවී යෑමත් සමඟ තරගය සවස තේ පානය සඳහා නතර කෙරිණි. ඕෂධ ප්‍රනාන්දු (20) සහ ඇන්ජෙලෝ මැතිව්ස් (25) අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යෑම ශ්‍රී ලංකා පිලට විශාල පාඩුවක් වුවත් නායක දිමුත් කරුණාරත්න කඩුල්ල රැක ගනිමින් ඉනිම ගොඩනැඟීමේ නිරත විය. ඊයේ දිවා විවේකයට ඕවර කිහිපයක් තිබියදී පළමු ඉනිමට අත්හිටුවීමට බංග්ලාදේශ පිල තීරණය කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 541ක් රැස් කර තිබිණි.

බංග්ලාදේශය ටෙස්ට් ඉනිමකදී ලකුණු 500 ඉක්මා ගිය 11 වැනි අවස්ථාව මෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව රැස් කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ද මෙයයි. 2013 ගාල්ලේදී ඔවුන් රැස් කළ ලකුණු 638 ටෙස්ට් ඉනිමක ඉහළම ලකුණු ලෙස වාර්තා වෙයි. දෙවැනි දිනය නිමා වන විට නොදැවී සිටි මුෂ්ෆිකූර් රහීම් සහ ලිටන් දාස් ඊයේ අර්ධ ශතක රැස් කිරීමට සමත් වූහ. මුළු ලකුණු 474කින් දිනය ඇරඹූ බංග්ලාදේශ පිලට තවත් ලකුණු 37ක් එක් වෙද්දී දිනයේ පළමු කඩුල්ල ලෙස දාස් පිටියෙන් ඉවත් කිරීමට විශ්ව ප්‍රනාන්දු සමත් වූයේ ඕෂධ ප්‍රනාන්දු උඩ පන්දුවක් රැක ගැනීමෙනි. බංග්ලාදේශයට 6 වැනි කඩුල්ල අහිමි කරමින් මෙහෙදි හසන් (3) සුරංග ලක්මාල්ගේ පන්දුවක් හමුවේත්, විශ්වට සිව්වැනි කඩුල්ල හිමි කර දෙමින් ටයිජුල් ඉස්ලාම් (2) 7 වැනි කඩුල්ල ලෙසත් දැවී ගියේ නිරෝෂන් දික්වැල්ල උඩ පන්දු රැක ගැනීමෙනි. ඉනිම අත්හිටුවන විට රහීම් නොදැවී ලකුණු 68ක් සහ ටස්කින් අහමඩ් ලකුණු 6ක් රැස් කර තිබිණි. ආරංචි මාර්ග සඳහන් කරන්නේ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර ඊයේ පන්දු යැවීමට එක් නොවූ අතර, ඔහු පාදයක ආබාධයකට ලක්ව ඇති බවටයි.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment