ජනපති ‘ගම සමඟ පිළිසඳර’ ප්‍රගතිය සොයන්න හල්දුම්මුල්ලට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (26) පෙරවරුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, වෙලංවිට ග්‍රාමයේ චාරිකාවක නිරත විය. ඒ “ගම සමඟ පිළිසඳර” පළමු වැඩසටහනේ ප්‍රගතිය නිරීක්ෂණය සදහායි. මෙතෙක් නිසි අවධානයට ලක් නොවූ නගරයෙන් බැහැර දුෂ්කර ගම්වල ජනතාව හමු වී ඔවුන්ගේ ගැටලු විමසා ඒ මොහොතේම නිලධාරීන්ගේ අවධානය යොමු කොට විසඳුම් දීමේ අරමුණින් පසුගිය සැප්තැම්බර් 25 වැනි දින “ගම සමඟ පිළිසඳර” වැඩසටහන ජනාධිපතිවරයා විසින් ආරම්භ කරන ලදී. බදුල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලෙස හඳුනාගෙන තිබූ හල්දුම්මුල්ල වෙලංවිට ග්‍රාමය, වැඩසටහනේ පළමුවැන්න විය. ජනතාව පෙන්වා දුන් සහ එහිදී හඳුනාගත් ගැටලුවලට කඩිනමි විසඳුම් දීමට ජනාධිපතිවරයා අදාළ බලධාරින් වෙත පවරනු ලැබීය. මාස 07 කට පසු එහි ප්‍රගතිය සොයා බැලීම ජනාධිපතිවරයාගේ ඊයේ (26) චාරිකාවේ අරමුණ විය.

‍ජනතාවගේ ඉල්ලීම පරිදි යුද හමුදාව ඉදි කළ කොටබෝගස්තැන්න ක්‍රීඩාංගණයෙන් ජනාධිපතිවරයා සිය නිරීක්ෂණ චාරිකාව ආරම්භ කළේය. හපුතලේ සිට වෙලංවිට දක්වා බස් රථ දෙකක් ධාවනයට එක් කිරීම ඊයේ (26) සිට සිදු කෙරේ. දිනකට ගමන් වාර දෙක බැගින් ගම්මාන 08ක් ඔස්සේ බස් රථ දෙක ධාවනයෙන් මෙතෙක් පැවති ප්‍රවාහන දුෂ්කරතාවට විසඳුම් ලැබේ. වන අලි පහරින් කැඩී ගිය, යුද හමුදාව ඉදිකළ නව නිවස ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් කෙරිණ. “ ගම සමඟ පිළිසඳරින්” ප්‍රතිලාභ අත්කර ගත් ඉඩම් ඔප්පු ලාභීන් කීප දෙනෙකු සමඟ කතා කළ ජනාධිපතිවරයා වගා කටයුතුවල අඛණ්ඩව නිරත වන ලෙස උපදෙස් දුන්නේය.

වෙලංවිට ග්‍රාමයේ විදුලි අලි වැට වසර දෙකකට ආසන්න කාලයක් අක්‍රීයව පැවතිණ. එහි දිග කි.මි 6 කි. විදුලි වැට ප්‍රතිසංස්කරණය කර සක්‍රීය කර ඇත. අලි වැට ආරක්ෂා කර ගැනීම ගම්මානයේ ජනතාවටම පවරා තිබේ. එක් කිලෝ මීටරයකට එක් අයෙකු බැගින් මාසිකව රුපියල් 7500ක දීමනාවක් ලැබෙන සේ පුද්ගලයන් 06 දෙනෙකු ඒ සඳහා පත් කර සිටිති. නිකපොත සිට වෙලංවිට පාසල දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කර තබේ. වෙලංවිට සිට කොස්ලන්ද, වැල්ලවාය මාර්ගය සම්බන්ධ කෙරෙන කි.මි 14ක මාර්ගයේ ඉදිකිරීම් සිදු කෙරෙමින් පවතී. පානීය ජල ගැටලුවට විසඳුම් ලෙස ඉදි කෙරෙමින් පවතින ජල යෝජනා ක්‍රමය පිළිබඳව ජනාධිපතිවරයා විමසා බැලීය. අක්කර සියය, කුමාරතැන්න සහ වෙලංවිට ගම්මානවල විදුලි සැපයුම සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 54කි. නිවාස 83කට තෙමසක් තුළ විදුලිය සැපයීමට විදුලි බල මණ්ඩලය පියවර ගෙන ඇත. නිරීක්ෂණ චාරිකාවේ නිරත ජනාධිපතිවරයා මඟ දෙපස රැස්ව සිටි ජනතාවගෙන් තොරතුරු විමසා බැලීය.

වැඩ අවසන් හා ක්‍රියාත්මක වෙමින් පවතින සංවර්ධන ව්‍යාපෘති සහ මාර්ග සංවර්ධන කටයුතු නිරීක්ෂණය කළ ජනපතිවරයා ඒවා කඩිනමින් නිම කර ජනතා අයිතියට පවරාදීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. ජනාධිපතිගේ පැමිණීම සමඟ ගමේ පොදු ජන ජීවිතය මුහුණ දුන් ගැටලු රැසකට විසඳුම් ලැබීම පිළිබඳව මහ සංඝරත්නයේ සහ ජනතාවගේ බලවත් ප්‍රසාදය මෙහිදී පිරිනැමිණි. බණ්ඩාරවෙල නගර සැලැස්ම සහ හපුතලේ නගරය සංචාරක ආකර්ෂණයක් සහිතව සංවර්ධනය කිරීමට ජනතා නියෝජිතයන් කළ ඉල්ලීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය. ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදර්ශන දෙණිපිටිය, චාමර සම්පත් දසනායක, තිස්ස කුට්ටිආරච්චි මහත්වරුද, ප්‍රදේශයේ මහජන නියෝජිතයෝ සහ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියේය.


උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment