දෙවැනි මාත්‍රාව මැයි 3 දා සිට, නලින් කියන්නේ බොරු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා ඊයේ (26) ප්‍රකාශ කළේ කොරෝනා මර්දනයට සම්බන්ධ වන ප්‍රධාන ක්ෂේත්‍ර හඳුනා ගැනීමේ ප්‍රමුඛතා ලැයිස්තුව අනුව කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව එළැඹෙන මැයි මස 3දා ආරම්භ කෙරෙන බවයි. එම දෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා මෙරටට ලැබුණු පළමු එන්නත් තොගයෙන්ම මූලික වශයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සංචිත ලෙස තබා ගැනීමට රජය කටයුතු කර ඇති බැවින් එන්නත්කරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කලබල විය යුතු නැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇතැයි විපක්ෂය කිසිසේත්ම බලාපොරොත්තු නොවූ බව පැවසූ හෙතෙම එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් පසුව විපක්ෂය බොහෝ දුරට නිහඬව සිටි බවත් පෙන්වා දුන්නේය. කොවිඩ් මර්දනය සඳහා එකදු එන්නතක් හෝ නොදුන් රටවල් සියයක් පමණ තිබෙන බව සඳහන් කළ මන්ත්‍රීවරයා එන්නත්කරණ වැඩපිළිවෙළ ආරම්භ කරනු ලැබූ මුල්ම රටවල් අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් මුලික වටයේදී එන්නත් දසලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ලබා දුන් බව ද කියා සිටියේය.

ලෝකයේම පිළිගත් ප්‍රමිතිගත රුසියානු ස්පුට්නික් එන්නත් තොගයක් ඉදිරි සතියේ දී මෙරටට ලැබෙනු ඇති බවත් ප්‍රකාශ කළ මෙරට එන්නත්කරණ වැඩසටහන තවදුරටත් සාර්ථක කර ගැනීමෙහිලා එය ප්‍රයෝජනවත් වනු ඇති බවත් ඔහු කියා සිටියේය.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment