නව කොවිඩ් රැල්ල ඉන්දියාව මළගමක් කරයි

පස්වෙනි දිනයටත් ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවා යද්දී නවදිල්ලිය ඇතුළු නගර රැසක වීදි පුරා රෝගීහු මිය යමින් සිටිති. ඔක්සිජන් සැපයීම ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඉන්දියාව දැඩි අසීරුතාවට පත් වී ඇති අතර, අසල්වැසියාට කොන්දේසි විරහිතව සහාය පළ කිරීමට පසමිතුරු පාකිස්තානය ද ඉදිරිපත්වී සිටී. සවුදි අරාබිය, බ්‍රිතාන්‍යය, අමෙරිකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් රැසක් සහ යුරෝපා හවුල ගුවන් මගින් ඔක්සිජන් ටැංකි සැපයීමට පියවර ගෙන තිබේ. එරට ප්‍රධාන නගරවල පිහිටි උද්‍යාන හා රථගාල් මේ වන විට කොවිඩ් ආසාදනයෙන් ජීවිතක්ෂයට පත් වූවන්ගේ ආදාහනාගාර බවට පත් වෙමින් තිබේ. කෝටි එකසිය පනහකට ආසන්න ජනගහනයක් ඇති ඉන්දියාව ලොව කොවිඩ් රෝග ව්‍යාප්තිය අතින් අමෙරිකාවට පමණක් දෙවැනි වී සිටින අතර, එය ශීඝ්‍ර වශයෙන් ඉහළ නගමින් තිබෙන්නේ සමස්ත ජනතාවට එන්නත් ලබා දීමට රජය ඉලක්ක කර සිටියදීය.

ඉන්දියාවේ නව දිල්ලි අගනුවර බොහෝ රෝහල් මෙන්ම බොහෝ නගරවල රෝහල්වල ඇඳන් මුළුමනින්ම කොවිඩ් ආසාදිතයන්ගෙන් පිරී ගොස් ඇති අතර, රෝගීන්ට නි‍ෙවසේදී ප්‍රතිකාර ලබා ගැනීමට ක්‍රම සොයා ගැනීමට ජනතාවගෙන් ඉල්ලා සිටීමට බලධාරීන්ට සිදු වී ඇත. මේ අතර ඔක්සිජන් සිලින්ඩර, සාන්ද්‍රක සහ අත්‍යවශ්‍ය ඖෂධවල මිල අහස උසට නැඟී ඇති හෙයින් එය ලබාගැනීම පවා සාමාන්‍ය ජනතාවට දුෂ්කර කාර්යයක් බවට පත් වීමෙන් තත්ත්වය තවත් දරුණු අතට හැරී තිබේ.

නවදිල්ලි නුවර කාන්තාවක වන අන්ෂු ප්‍රියාගේ මාමණ්ඩියගේ තත්ත්වය දිනෙන් දින දරුණු අතට හැරෙද්දී ඇයට දිල්ලියේ හෝ උපනගරයක් වන නොයිඩාහි රෝහල්වල ඇඳක් සොයා ගැනීමට පවා නොහැකි වී තිබිණ. සාප්පුවල ඔක්සිජන් සිලින්ඩරයක් සෙවීම ද නිෂ්ඵල වූ බැවින් ඇයට සිදු වූයේ අධික මිලකට ඔක්සිජන් අලෙවි කරන කළු කඩ මුදලාලිලා වෙත යොමු වීම පමණි. එහිදී ඔක්සිජන් සිලින්ඩරයක් මිල දී ගැනීම සඳහා ඇය ඉන්දීය රුපියල් 50,000ක් ගෙවා ඇත. සාමාන්‍ය කාලවලදී ඒ සදහා වැය වන්නේ රුපියල් 6,000ක් පමණි. ඇගේ නැන්දම්මා ද ශ්වසන ආබාධයකට ලක්වී සිටින අතර, අන්ෂු දැන් සිය ජීවිතය ගැන පවා කනස්සල්ලට පත්ව සිටින්නීය. ඉහළ මිලකට තවත් සිලින්ඩරයක් ලබා ගැනීමට ඇයට වත්කමක් නොමැති බව ඇය බීබීසී පුවත්සේවයට ප්‍රකාශ කළාය. අන්ෂුගේ පමණක් නොව එරට බොහෝ ජීවිතවල වත්මන් තත්ත්වය ඉන් පැහැදිලි වේ.

දිල්ලිය, නොයිඩා, ලක්නව්, අලහබාද් සහ ඉන්දෝර් ඇතුළු බොහෝ නගරවල රෝහල් ඇඳන් හිඟ වී ඇති අතර, බොහෝ පවුල්වලට කොවිඩ් ආසාදිත සිය පවුලේ සාමාජිකයන් තාවකාලිකව නිවාසවලම රදවා ප්‍රතිකාර දීමට සිදු වී ඇත. දැඩි සත්කාර ඒකකයේ ඇඳන් නොමැති දිල්ලි නුවර රෝහල්වල තත්ත්වය අතිශයින්ම දරුණු ය. දිනකට දහස් ගණනක් රෝගීන් මරණයට පත් කරන විනාශකාරී නව කෝවිඩ් -19 රැල්ලට එරෙහිව සටන් වැදීමට ඉන්දියාවට සිදුවී ඇති අතර, අර්බුදය විසඳීම සඳහා අන්තර්ජාතික මැදිහත් වීමක් කඩිනමින් අවශ්‍ය වී තිබේ. බ්‍රිතාන්‍යය සහ එක්සත් ජනපදය මේ වන විටත් ආධාර සහ අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කිරීමට පොරොන්දු වී ඇත.

පසුගිය මාර්තු මාසයේ ආරම්භ වූ කොවිඩ් තුන්වැනි රැල්ල වේගයෙන් උත්සන්න වී සමස්ත ඉන්දියාව උඩුයටිකුරු කර ඇත්තේ දින තුනක් තුළ මිලියනයකට වඩා ජනතාව ආසාදිතයන් බවට පත් කරමිනි. එරට වෛද්‍ය පහසුකම් ඔක්සිජන් හා දැඩි සත්කාර ඒකකයේ ඇඳන් හිඟ වී ඇත්තේ සති දෙකක පමණ කාලයක සිටය. මේ තත්ත්වය මත බොහෝ රෝගීහු නි‍ෙවසේදී සහ ඉන් පිටත රෝහල්වලදී මරණයට පත්වෙමින් සිටිති. ඊයේ දිනයේදී පමණක් (26) ඉන්දියාවේ නව කොවිඩ් රෝගීන් 352,991ක් සහ වයිරස් ආශ්‍රිත මරණ 2,812 ක් වාර්තා වී ඇති අතර, එය ලොව ඉහළම දෛනික ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව වේ.

ලබන මැයි 3 වැනිදා දක්වා අගුළු දමා ඇති නවදිල්ලි නුවර තත්වය සෙසු නගරවලට වඩා දරුණු අතට හැරී තිබේ. නගරය පුරා රෝහල්වල ඔක්සිජන් හිඟය දැඩි අර්බුදයක් බවට පත් වී ඇති අතර, එහි ඔක්සිජන් නිෂ්පාදනාගාර නොමැති බැවින් මධ්‍යම රජය විසින් සපයනු ලබන ඔක්සිජන් මත යැපීමට සිදුවී ඇතැයි නවදිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් පවසයි.

දිල්ලි රෝහල් කිහිපයක් සති අන්තයේදී SOS පණිවිඩ මගින් ඔක්සිජන් සැපයුම් ඉල්ලා සිටි අතර, දිල්ලි රෝහලක ඔක්සිජන් සැපයීම ප්‍රමාද වීමෙන් සෙනසුරාදා පමණක් අවම වශයෙන් කොවිඩ් ආසාදිතයෝ 20 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූහ.

මේ අතර ප්‍රමාණවත් තරම් ඔක්සිජන් සපයා ගැනීම සහතික කිරීම සඳහා රජය මගින් සෑම දිස්ත්‍රික්කයකම ඔක්සිජන් උත්පාදන බලාගාර 551 ක් පිහිටුවනු ඇතැයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පසුගියදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කියා සිටියේය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මධ්‍යම රජය දැඩි විවේචනයට ලක්ව ඇති අතර, රෝහල් සහ නිවැසියන්, ප්‍රාන්ත සහ ෆෙඩරල් නිලධාරීන්ගෙන් වැඩි සැපයුම් ලබා දෙන ලෙස සමාජ මාධ්‍යවලින් ආයාචනා කර තිබේ. තම ආදරණීයයන් බේරා ගැනීමට නොහැකිව අසරණ තත්ත්වයෙන් පසුවන එරට ජනතාවට ඔක්සිජන් ලබා ගැනීම සඳහා අධික මිලක් ඉල්ලා සිටින කළුකඩ මුදලාලිලා වෙත යොමු වීමට සිදු වීමෙන් රජය දැඩි අප්‍රසාදයට පත් වී තිබේ.

ඊට බලපෑ තවත් හේතුවක් වන්නේ පසුගිය සතියේ අගමැතිවරයා ජාතිය අමතා කරනු ලැබූ කතාවේදී කොවිඩ් තුන්වැනි රැල්ල අවතක්සේරුවට ලක් කිරීම හේතුවෙනි. එසේ වුවත් ඉන් පසු සිය මාසික ගුවන් විදුලි වැඩසටහන අතරතුර මෝදි කියා සිටියේ කොවිඩ් තුන්වැලි රැල්ලට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ තමා ඖෂධ ක්ෂේත්‍රය තුළ ප්‍රවීණයන්, එන්නත් නිෂ්පාදකයන් සහ ඔක්සිජන් නිෂ්පාදකයන් සමඟ සාකච්ඡා පවත්වා ඇති බවය. “මම ඔබට කතා කරන්නේ කොවිඩ් -19 අපගේ ඉවසීම සහ වේදනාව දරා ගැනීමේ හැකියාව පරීක්ෂා කරන මොහොතක දීය. ආදරණීයයන් බොහෝ දෙනෙක් අප හැර දමා යමින් සිටී.” ඔහු ගුවන් විදුලි වැඩසටහනේදී එසේ පැවසීය. “පළමු රැල්ලට සාර්ථකව මුහුණ දීමෙන් පසු ජාතියේ චිත්ත ධෛර්යය ඉහළ මට්ටමක පැවතුණා. එය විශ්වාසයෙන් යුතුව පැවතුණා. නමුත් තුන්වැනි රැල්ල කුණාටුව මෙන් සමස්ත ජාතිය දැඩි කැලඹීමකට ලක් කර තිබෙනවා.‘ ඔහු කීවේය.

මෙවැනි අවදානම් තත්ත්වයක් පවතින අතරතුර දස දහස් ගණන් මිනිසුන් රැස්කර දේශපාලන රැස්වීම් පැවැත්වීම සම්බන්ධව ගැන අගමැතිවරයා ඇතුළු රජයට දැඩි විවේචන එල්ල වී තිබේ. එසේම ලක්ෂ ගණනින් බැතිමතුන් රැස්වූ කුම්භමේලා වැනි උත්සවවල පැවැති අනාරක්ෂිතභාවය තවත් කාරණයක් වී ඇත. වසංගතයේ ඇති අවදානම වසාගෙන ආගමික අන්ධභාවයට පත් වීමෙන් කොවිඩ් වැනි අධි අවදානම් සහිත වසංගතයකින් බේරීම අති දුෂ්කර වන බව ඉන්දියාව අපට කදිම නිදසුනක් සපයා තිබේ. රජයකට කෙතරම් ඉලක්ක තිබුණත් ජනතාව පසුගාමී නම් ඒ ඉලක්කය කරා යෑම යාම යථාර්ථයක් බවට පත් කළ නොහැකි බව මින් වැඩිදුරටත් පැහැදිලි වේ.


උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment