බියගමින් පැහැරගත් පිරිමි දරුවා නවගමුවේ කාමරයක රදවාගෙන අතවර කරලා

බියගම ප‍්‍රදේශයේ නිවෙසකින් පැහැරගෙන ගිය දස හැවිරිදි පිරිමි දරුවෙකු නවගමුව ප්‍රදේශයේ නේවාසිකාගාරයක කාමරයක රඳවා තබාගෙන සිටියදී බියගම පොලිසිය මගින් ඊයේ (26 ) අලුයම සොයාගෙන ඇත.

ඒ සමගම එම දරුවා පැහැරගෙන ගිය පුද්ගලයාත් එම කාමරයේ සිටියදීම අත්අඩංගුවට ගැනිණි.

පෙරේදා (25 වැනිදා) උදෑසන මව තම දරුවන් තිදෙනා නිවසේ සිටියදී බියගම නිදහස් වෙළඳ කලාපයේ රැකියාවට ගොස් සවස ආපසු නිවෙසට පැමිණ බලන විට දස හැවිරිදි පිරිමි දරුවා නිවසේ නොසිටි බව දැක පොලිසියට පැමිණිලි කර තිබේ.

එහිදී වහාම ක‍්‍රියාත්මක වු පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ජේ. එම්. ආර්. සමරසිංහ මහතා මේ සම්බන්ධව විමර්ශනය කිරීමේදී එම නිවෙසට යාබදව තිබෙන ඔවුන්ගේම නේවාසිකාගාරයේ කාමරයක නවාතැන්ගෙන සිටි පුද්ගලයෙකු ගැන ඇතිවු සැකය මත අවට පොලිස් ස්ථානවලට ද ඒ බව දන්වන ලදී.

මේ අතර පුද්ගලයෙකු විසින් පොලිස් හදිසි දුරකථන අංක 119 ට ඇමතුමක් මගින් නවගමුව ප‍්‍රදේශයේ කාමරයක පුද්ගලයෙකු දරුවෙකු රඳවාගෙන සිටින බවට දන්වා සිටීමත් සමග එම දරුවා සමග එම පුද්ගලයා මෙසේ අත්අඩංගුවට ගැනීමට හැකිවිනි.

කාමරය තුළ දී එම පුද්ගලයා විසින් දරුවාට ලිංගික අතවර සිදු කර තිබෙන බවට ද හෙළිවිය.

වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි විවාහකයකු වන මෙම පුද්ගලයා බ්ලොක් ගල් වැඩපළක රැකියාව කරන අතර ඔහු බියගම පේරගස්හන්දිය ප‍්‍රදේශයේ එම නේවාසිකාගාරයේ කාමරයට පැමිණ සති දෙකකට වඩා නැති බවටත් තොරතුරු ලැබී ඇත.

Related posts

Leave a Comment