කොවිඩ් තුට්ටුවටවත් මායිම් නොකර නුවරඑළියේ සැණකෙළි පැවැත් වූ නගරාධිපතිට වැඩ වරදී

නුවරඑළිය මහ නගර සභාව විසින් සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 25 දා වසන්ත උදානය සැණකෙළියට සමගාමීව පැවැත්වූ අලූත් අවුරුදු උත්සවය සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක් පවත්වන ලෙස මධ්‍යම පළාත් පාලන කොමසාරිස්වරයාට තමන් උපදෙස් ලබාදුන් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා පැවසීය.

මාධ්‍යයට විශේෂ ප‍්‍රකාශයක් කරමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා කියා සිටියේ වසන්ත උදානයට සංචාරකයන් ගෙන්වා ගැනීම අවම කරන ලෙසටත්, ඇතැම් තරග ඉසව් නතර කරන ලෙසට නගරාධිපතිවරයාට උපදෙස් ලබා දී තිබියදී එම උපදෙස්වලට පටහැනිවද නුවරඑළිය මහ නගර සභෘවේ නගරාධිපතිවරයා කටයුතු කරමින් වසන්ත උදානය පවත්වා ඇති බවයි.

නුවරඑළිය ග්‍රෙගරි වැව ඉස්මත්තේ පැවති සිංහල හින්දු අලූත් අවුරුදු උත්සවයට සහභාගි වූ නගර සභාවේ සේවකයන්ට දිවා ආහාරය සමග මත්පැන් මිලි ලීටර් 175 බෝතලයක් ලබාදී ඇති බවටද තමන්ට තොරතුරු ලැබී ඇති බවත්, ඒ පිළිබඳවද තම අවධානය යොමු වී ඇති බවත් ආණ්ඩුකාරවරයා කියා සිටියේය.

Related posts

Leave a Comment