කොළඹ වරාය නගර කොමිසමට රජයේ ඉඩම් පැවරීමේ බලය ජනාධිපතිවරයාට තිබෙනවා

යෝජිත ‘කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ’ සාමාජිකයන් බහුතරයක් ශ්‍රී ලාංකිකයන් බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආටිගල සහ කැබිනට් මණ්ඩල ලේකම් ඩොනල්ඩ් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (22) දන්වා සිටියේය.

එම කොමිසම සාමාජිකයන් පස්දෙනෙකුගෙන් සමන්විත වන්නේ නම් ඉන් තිදෙනකු ශ්‍රී ලාංකිකයන් වනු ඇති බව ද සාමාජිකයන් හත්දෙනෙකුගෙන් සමන්විත වන්නේ නම් සිව්දෙනකු ශ්‍රී ලාංකිකයන් වනු ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් කැඳවූ අවස්ථාවේදී අතරමැදි පෙත්සම් වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා, සභාපතිවරයා, සමගි ජන බලවේගයේ මහ ලේකම්වරයා, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් පෙත්සම් 19ක් ගොනු කර තිබුණි. එසේම පනතට එරෙහිව සිවිල් පුද්ගලයන් තිදෙනකු ද පෙත්සම් ගොනු කර තිබිණි.

අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආටිගල, කැබිනට් මණ්ඩල ලේකම් ඩොනල්ඩ් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් විසින් පනත් කෙටුම්පතට පක්ෂව අතරමැදි පෙත්සම් 11ක් ගොනු කර තිබිණි.

මෙම පෙත්සම් සලකා බැලීම සිව්වන දිනට ද ඊයේ (22) සිදු කරනු ලැබුයේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේය.

එම අවස්ථාවේදී අතරමැදි පෙත්සම්කාර කැබිනට් මණ්ඩල ලේකම්වරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආටිගල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා තවදුරටත් කරුණු ඉදිරිපත් කරමින් මෙසේ කීය.

කොළඹ වරාය නගර කොමිසමට රජයේ ඉඩම පැවරීමේ බලය ජනාධිපතිවරයාට තිබෙනවා. එම ඉඩම බදු දෙනවා ද, ව්‍යාපාර අවස්ථා සඳහා ලබා දෙන්නේ කෙසේද යන්න තීරණය කරන්නේ එම කොමිසම විසිනුයි. මෙම කලාපය විවිධ කටයුතු රැසක් වෙනුවෙන් වෙන් කළ හැකියි. නිවාස, වාණිජමය කටයුතු, අධ්‍යාපනික ආයතන, විනෝදජනක අවස්ථා ආදිය සඳහා ලබාදීමට සැලසුම් කර තිබෙනවා. මෙය ජාතික ආර්ථික සංවර්ධනය මූලික ලෙස අරමුණු කර ගන්නවා.

මෙම වරාය නගර ආර්ථික කොමිසමේ අරමුදල් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත්. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ව්‍යාපෘති සමාගම රුපියල් මිලියන 400ක් කොමිසමට ගෙවිය යුතුයි. එම මුදල පමණක් ලබා ගැනීම මෙහි අරමුණ නොවෙයි. මෙම ඉඩම් කොටස් බදු දීමෙන් ලැබෙන සම්පූර්ණ මුදලෙන් සියයට 1ක් කොමිසම තබා ගන්නවා. ඉතිරි මුදල රජයේ ඒකාබද්ධ අරමුදලට බැර වෙනවා.

විනිසුරු මුර්දු ප්‍රනාන්දු

එම සියයට 1 ලබාගැනීමේ කාලසීමාව 2028 ජූලි තෙක් සීමා කර තිබෙනවා. විශේෂ කාලසීමාවක් ඇයි? අධ්‍යාපන සහ රෝහල් රජයේ වාණිජමය වටිනාකම් සහිත අලෙවි කළ හැකි ඉඩම්වල පිහිටා ඇත්තේ ඇයි?

ජ.නීතිඥවරයා

කාලසීමාව මූලික ආරම්භ කාලයක් පමණයි. මෙම කලාපයේ ඇති අලෙවි කළ හැකි රජයේ ඉඩම් ප්‍රමාණයේ තමයි රෝහල් සහ පාසල් ඇති කරන්නේ. ඒවායේ සේවය ලබාගැනීමට ඕනෑම අයෙකුට යා හැකියි.

ජනාධිපතිවරයා හෝ මුදල් ඇමැතිවරයා විසින් පනවන ඕනෑම රෙගුලාසියක් ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේදී ප්‍රශ්න කළ හැකියි. එවැනි ව්‍යවස්ථාදායක කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුම්වත් කරනවා.

අගවිනිසුරුවරයා

බදු සහන ලබාදීම සම්බන්ධයෙන් කිසිදු මාර්ගෝපදේශයක් මෙහි සඳහන් වන්නේ නෑ.

ජ.නි.

සෑම ව්‍යාපාරයක්ම එකලෙස සලකන්නේ නෑ. එක් එක් ව්‍යාපාර වෙනුවෙන් ලැබෙන බදු සහනය විවිධ විය හැකියි. එය සියයට 5 සිට 25 තෙක් විය හැකියි.

අගවිනිසුරුවරයා

ව්‍යාපාරයක් කොතරම් වැදගත් වන්නේ ද යන්න තීරණය කරන්නේ කෙසේද? ඒ පිළිබඳව උපමාන මෙහි සඳහන් වන්නේ නැහැ.

ජ.නි. රොමේෂ් ද සිල්වා

එවැනි ව්‍යාපාර වලට බදු සහන ලබාදීමේදී පාර්ලිමේන්තුව දැනුවත් කර එහි අනුමැතියට යටත්ව කටයුතු කළ හැකි පරිදි එය සංශෝධනය කළ හැකියි. ආචාර්ය ජයසුන්දර කළ යුතු සංශෝධන පිළිබඳව නීතිපතිවරයා දැනුවත් කර තිබෙනවා.

ජ.නි. සංජීව ජයවර්ධන

මෙම කලාපයෙහි කටයුතු කිරීමේදී බේරුම්කරණය කළ හැකියි. එය අධිකරණය ඉක්මවා යෑමක් නොවෙයි.

අගවිනිසුරුවරයා

මෙහි 27(4) වගන්තිය අනුව විදේශ මුදල් තිබෙන ශ්‍රී ලාංකිකයන්ට පවා මෙම කලාපයෙහි ආයෝජනය කළ හැකියි. එලෙස අවස්ථාව ලබා දෙන්නේ ඇයි?

ජ.නීතිඥවරයා

එය දිරිගැන්වීමක් වශයෙන් සිදු කරනවා.

අගවිනිසුරුවරයා

මෙම කලාපයේ විදේශ බැංකුවල විශේෂ වරප්‍රසාද තිබෙන බවත් ඒවා ලබාගැනීමේ අදහසින් ජනතාව එම බැංකු සමඟ කටයුතු කළහොත් රටේ සෙසු සමස්ත බැංකු පද්ධතියම බිඳ වැටෙන බවට තර්කයක් ඉදිරිපත් වුණා.

ජ.නීතිඥවරයා

මෙම ස්වභාවයේ විදේශ බැංකු රටේ ක්‍රියාත්මක වෙනවා. මෙම බැංකුවල ව්‍යාපාර කටයුතු මුල සිට අවසානය තෙක්ම සම්පූර්ණ වශයෙන් මූල්‍ය මණ්ඩලය විසින් අධීක්ෂණය කරනවා.

මෙය නීතිමය රාමුවක් තුළ විශේෂ ව්‍යාපාර අවස්ථා නිර්මාණය කර විදේශ විනිමය ඉපැයීමේ වටිනා අවස්ථාවක්. මෙහි ප්‍රතිලාභ හිමිවන්නේ මෙරට ජනතාවටමයි. ලංකාවේ ආර්ථිකයේ ස්වරූපය මේ සමඟ වෙනස් වේවි. ජනාධිපතිවරයා, මුදල් ඇමැතිවරයා ලෙස අගමැතිවරයා, කැබිනට් මණ්ඩලය ඇතුළු නිලධාරීන් ඒකමතික තීරණයක සහ උවමනාවක සිටිනවා මෙම ආර්ථික කලාපය ඇති කළ යුතු බවට.

ශ්‍රී ලංකා කොළඹ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපතිවරයා ගොනු කළ පෙත්සම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන මහතා මෙසේ ද කීය.

මෙම ස්ථානයේ පවත්වාගත යුතු සහ හැකි ආකාරයන් හඳුනාගෙන තිබෙනවා. මෙම කලාපයට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් පෙත්සම්කරුවන් ඉදිරිපත් කළ කරුණු වැරදියි. මේ වන විටත් ව්‍යාපෘති සමාගම විසින් එම පහසුකම් සැලසීම සිදු කර අවසන්. මෙම කලාපයෙහි ඇතැම් ස්ථාන ව්‍යාපෘති සමාගමට අයත්වන අතර ඉතිරිය රජයේ අයිතිය සහිත අලෙවි කළ හැකි ඉඩම් ලෙස හඳුනාගන්නවා. රෝහල්, පාසල්, සම්මන්ත්‍රණ ශාලා ආදිය රජය යටතේ පවතීවි.

මෙම පනත ක්‍රියාත්මක වූ විගස අදාළ කොමිසම බල ගැන්වෙනවා. එම කොමිසම විසින් රජයේ අලෙවි කළ හැකි ඉඩම් බදුදීම අරඹනවා. මෙම කලාපය කොළඹ දිස්ත්‍රික්කයට අයත් වෙනවා. මෙම පනත ඉදිරිපත් කර ඇත්තේ විශේෂ ආර්ථික කලාපයක් ඉදිකිරීම අරමුණු කරගෙනයි. එය වර්තමාන ගෝලීය ආර්ථිකයේ අත්‍යවශ්‍ය අංගයක්. ආයෝජකයන්ට නැවත රැගෙන යා නොහැකි ව්‍යාපාර ස්ථාන මේ නිසා නිර්මාණය වෙනවා.

බැංකු සම්බන්ධයෙන් මෙහි සඳහන් වන කරුණු අලුත් ඒවා නොවෙයි. එම බොහොමයක් කරුණු ‘බැංකු ප‍නතෙහි’ සඳහන්.

මෙම කොළඹ වරාය නගරය තුළ සියලු කටයුතු තීරණය කිරීමේ බලය විශේෂ කොමිසමට ඇති අතර, එය පහසුකම් සපයන්නා ද වෙනවා. දුෂ්කරතා වලට මුහුණදී ඇති ජාතික ආර්ථිකයට පිබිදීමක් ඇති කිරීම සඳහා මෙම පනත ඉදිරිපත් කරනවා. මෙම කෙටුම්පතේ කිසිවක් ව්‍යවස්ථාවට පටහැනි නෑ.

අතරමැදි පෙත්සම්කාර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කුෂාන්ත ද අල්විස් මහතා මෙසේ කීය.

ලෝකය පුරා විශේෂ ආර්ථික කලාප 5000කට අධික ප්‍රමාණයක් තිබෙනවා. එම කලාපවල විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ දිරිමත් කිරීමට විවිධ සහනයන් ලබා දෙනවා. ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම සහ රැකගැනීම සඳහා දිරිමත් කිරීම් කළ යුතුයි. ආයෝජකයන්ට ලංකාව තුළ ආයෝජනය කළ යුතුය යන හැඟීම ලබාදීමට නම් එවැනි දේ කළ යුතුයි. එසේ නොමැති විට ඔවුන් සිය කාලය හා ධනය මෙහි වැය නොකර වෙනත් රටවලට යාවි. ඒ නිසයි මෙම පනත මඟින් විශේෂ වරප්‍රසාද සහ පහසුකම් සලසා ඇත්තේ.

මෙහිදී අන්තර්ජාතික බේරුම්කරණ මධ්‍යස්ථානයක් මෙම කලාපයේ ඉදිකිරීමට නියමිතයි. ව්‍යාපාරිකයන් අතර සේවකයන් අතර හෝ මෙම කලාපයේ කටයුතු කරන පුද්ගලයන් අතර ඇතිවන ගැටුම් හෝ මතවාද සම්බන්ධයෙන් මෙම බේරුම්කරණ මධ්‍යස්ථානයට යා හැකියි. ‍එහිදී සාධාරණ විසඳුමක් ලබාගත හැකියි. එහි ඇති වරද කුමක්ද?

නීතිමය කටයුතුවලදී මෙම විශේෂ කලාපයෙහි අය වෙනුවෙන් කඩිනම් නඩු විභාගයක් පැවැත්විය හැකියි. එය පන්ති දෙකක ජනතාවක් නිර්මාණය කිරීමක් නොවෙයි.

බදු හෝ වෙනත් සහන ලබා නොදුණහොත් කිසිදු ආයෝජකයෙක් අපේ රටේ ආයෝජනය කිරීමට නොපැමිණේවි. ඔවුන්ට තෝරා ගැනීම සඳහා ඕනෑතරම් ආයෝජන අවස්ථා ලෝකයේ තිබෙනවා. එලෙස ආයෝජකයන් දිරිගැන්වීමට නම් ඔවුන්ට පහසුකම් සැලසිය යුතුයි.

ලංකාවේ මේ වන විට එකම පළාත් සභාවක්වත් ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ නිසා මෙම පනත් කෙටුම්පත පළාත් සභාවලට ඉදිරිපත් කළ නොහැකි වුණා.

මෙම පනතට අභියෝග කර ඇත්තේ එකම පෙත්සම්කරුවන් කොටසක්. පාර්ලිමේන්තුව විසුරවූ අවස්ථාවේදීත් 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළ අවස්ථාවේත් ඔවුන් ඊට එරෙහිව අධිකරණයට ආවා. ඔවුන් අධිකරණයට එන්නේ ජනතාවගේ යහපත සඳහා නොවෙයි. එහි සැඟවුණු අරමුණු තිබෙනවා. ඒ පිළිබඳව අවධානය යොමු විය යුතුයි. මෙහි කිසිවක් ව්‍යවස්ථාවට පටහැනි නෑ. එබැවින් එය සරල බහුතර‍යෙන් සම්මත විය යුතුයි.

පොදුජන පෙරමුණේ නීතිඥ සංගමයේ නීතිඥ අතුල ප්‍රියදර්ශන ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වී.කේ. චොක්සි මහතා මෙසේ කීය.

මෙම කොමිසම කිසිදු අවස්ථාවක කරුණු සලකා බැලීමෙන් තොරව කිසිදු ව්‍යාපෘතියක් ලබා දෙන්නේ නැහැ.

මෙම වරාය කලාපයෙහි පිහිටුවන බැංකු අලුත් සංකල්පයක් නොවෙයි. ඒවා පිහිටුවන්නේ බැංකු පනත අනුවයි.

මෙය අප රටට ලැබෙන ස්වර්ණමය අවස්ථාවක්. මෙහි කිසිදු වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වගන්තියට අදාළ වන්නේ නෑ. එබැවින් එය සම්මත කිරීමට විශේෂ බහුතර ඡන්දයක් හෝ ජනමත විචාරණයකට යොමු කිරීම අවශ්‍ය නැහැ.

මැදිහත් පාර්ශ්ව පෙත්සම්කාර නීතිඥ නලීන් සමරකෝන් සහ බී.පී. කරුණාතිලක වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා මෙසේ කීය.

යම් යම් කාර්යයන් අරමුණු කරගෙන පිහිටුවන ආයතන අධීක්ෂණය කිරීමේ බලය ඒ සඳහා වූ ඉහළ ආයතනවලට තිබෙනවා. එසේම එම ආයතන හිතුවක්කාරී ලෙස ජනතාවගේ අයිතීන් උල්ලංඝනය වන පරිදි කටයුතු කරන්නේ නම් එය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ හැකියි. මෙම වරාය නගර ආර්ථික කොමිසම ද එලෙසමයි. එයට සුවිශේෂී වූ අධිකාරී බලයක් නැහැ. එහි කටයුතු පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළ හැකියි.

මෙම කොමිසමේ සාමාජිකයන් ලෙස විදේශිකයන් පත් කිරීමේ වරදක් නෑ. ඔවුන්ට වරාය නගර සම්බන්ධව අත්දැකීම් තිබිය හැකියි. මෙම කොමිසමට විදේශිකයන් හත්දෙනකු පත් කරාවි යැයි අප සිතන්නේ නෑ. එය ජනාධිපතිවරයාගේ දේශපාලන දිවියේ සියදිවි නසා ගැනීමක් ලෙස හැඳින්විය හැකියි. මෙම කොමිසමට සුදුසුකම් සහිත පුද්ගලයන් පත් කිරීමට ජනාධිපතිවරයාට ඉඩදීමට තරම් අප නම්‍යශීලී විය යුතුයි. වරාය නගර කලාපය තුළ ‘ජුරාසික් පාක්’ චිත්‍රයක් මැවීමට පෙත්සම්කරුවන් උත්සහ කරනවා. එහි බිය විය යුතු කිසිවක් සැබෑවටම නැහැ.

විදේශිකයන් මෙහි ආයෝජනය කළ පසු අමෙරිකානු ඩොලරය රුපියල් සියය බවට පත්වුවහොත් වන්නේ කුමක්ද? එහි ලාභය සමස්ත ජනතාවටම ලැබේවි.

වරාය නගරය ශ්‍රී ලංකාවේම කොටසක්. ශ්‍රී ලංකාව තුළ බේරුම්කරණ කාර්යයන් සියල්ල බේරුම්කරණ පනතට යටත්වෙනවා. එලෙසම මෙම කොළඹ වරාය නගර කලාපයෙහි මතුවන බේරුම්කරණ කටයුතු ද ‘බේරුම්කරණ පනත’ අනුව සිදු වේවි.

ලී ක්වාන් යූ උත්සහ කළේ සිංගප්පූරුව ලංකාවක් බවට පත් කිරීමටයි. අප අද සිංගප්පූරුවට පිටුපසින් සිටින්නේ. රටක මුහුදු සීමාව නාවික සැතපුම් 12ක් තෙක් විසිරෙනවා. එම රටේ ජනතා පරමාධිපත්‍යය එම නාවික සැතපුම් 12ටත් ක්‍රියාත්මකයි. එම මුහුද ගොඩකර ගොඩනඟන බිමකට ද එම පරමාධිපත්‍යය හිමියි.

අපේ ව්‍යවස්ථාවේ පරාසයන් තුළ ක්‍රියාත්මක වෙමින් උපරිම නම්‍යශීලී වෙමින් මෙරට ආයෝජනය කිරීම සඳහා විදේශිකයන් ආකර්ෂණය කරගැනීම මෙහි අරමුණයි.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ෆර්සානා ජමීල් මහත්මිය කරුණු ඉදිරිපත් කළාය.

කමිටු අවස්ථාවේදී මෙම පනත් කෙටුම්පතට කිරීමට යෝජිත සංශෝධන කිහිපයක් ලැබී තිබෙනවා. එය අධිකරණයට ඉදිරිපත් කරනවා.

මෙය දැනට පවතින ආයෝජන නීති රාමුවට බොහෝ එහාට ගිය පනත් කෙටුම්පතක්. රජයේ ප්‍රතිපත්තිමය තීරණ අනුව රටේ ප්‍රධානියා, විධායකයේ ප්‍රධානියා, සන්නද්ධ හමුදා ප්‍රධානියා, කැබිනට් මණ්ඩල ප්‍රධානියා විසින් මේ සම්බන්ධව ක්‍රියා කරනවා. ඔහු කැබිනට් මණ්ඩලයට වගකියනවා.

මෙම මුහුද ගොඩකර සෑදූ බිම ලංකා භූමි භාගයට අයත් නොවන බවට පෙත්සම්කරුවන් කරුණු ඉදිරිපත් කළා. පෙත්සම්කරුවන් අභියෝගයට ලක් කරන ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ මීට වසර දෙකකට පෙරයි. ඒ සම්බන්ධව දැන් නීතිමය මැදිහත්වීමක් විය නොහැකියි.

මෙගා පොලිස් අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය සමඟ ව්‍යාපෘති සමාගම මීට පෙර ගිවිසුමක් ඇති කර ගත්තා. මෙය හුදෙක් වාණිජමය නගරයක් නොව ඊට වඩා පුළුල් වෙමින් ආර්ථික නගර කලාපයක් බවට පත් වීමට රජය තීරණය කළා. ඒ අනුව කටයුතු කිරීමටයි නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළේ. මෙහි ඉඩම් නීතිය, ව්‍යාපාර නීතිය, බදු නීතිය, බැංකු නීතිය ආදී නීති බොහෝමයක් විශාල ආර්ථික කලාපයකට බලපානවා.

ඒ අනුව තමයි එම සියලු කටයුතු නියාමනය කිරීම සඳහා අධිකාරී බලය සහිත කොමිසමක් පිහිටුවීමට අදාළ විධිවිධාන මෙහි සඳහන් වන්නේ. රජයේ අරමුණ විදේශිකයන් මෙරට ආයෝජනය කිරීමට යොමු කර ගැනීමයි. මෙම කොමිසමේ මුදල් විගණනය කෙරෙනවා. නීතිය අසමාන වීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණීවීම යන්න සමාන ලෙස සැලකිය නොහැකියි.

ඉඩම් පනතේ 60 වන වගන්තිය අනුව ජනාධිපතිවරයාට වෙරළබඩ ඉඩම් ගොඩකිරීමේ හැකියාව තිබෙනවා. මුහුද ගොඩකර ඉඩමක් නිර්මාණය කිරීම ද එය බදුදීමේ බලය ද ජනාධිපතිවරයාට තිබෙනවා. එබැවින් ලංකා භූමියට මෙම වරාය නගරය ඇතුළත් කර ගැනීම නීතියට පටහැනි බවට පෙත්සම්කරුවන් ඉදිරිපත් කරන තර්ක පදනම් විරහිතයි. එය නීතියට අනුකූලව කර තිබෙනවා.

කොළඹ නගරයේ බටහිර සීමාව මුහුදයි. එය වෙනස් වී නැහැ. ඡන්ද බලය හිමි ජනතාව වෙසෙන ප්‍රදේශයකට ඡන්ද බලය සම්බන්ධ නීතිය ක්‍රියාත්මක වෙනවා. නමුත් අනාගතයේදී ජනතාව පදිංචිවීමට කටයුතු කිරීමට යෝජිත ගොඩබිමකට අදාළව ඡන්ද බලය ගැන කතා කළ නොහැකියි.

මෙම පනත් කෙටුම්පත ඉවත් කර ඇත්තේ විශේෂ ආර්ථික කලාපයක් බිහිකිරීමටයි. එය බිහි කරන්නේ රජයේ මූලික ප්‍රතිපත්තියක් අනුවයි. එය පළාත් පාලන ලැයිස්තුවට අයත් වන්නේ නැහැ. එය මධ්‍යම රජයට අයත්.

අගවිනිසුරුවරයා

මෙම පනත් කෙටුම්පතෙහි කළ යුතු සංශෝධන කිහිපයක් පිළිබඳව සඳහන් කරමින් ජනාධිපති ලේකම්වරයා නීතිපතිවරයාට යැවූ ලිපියක් අධිකරණයට ලැබී තිබෙනවා. ඒ පිළිබඳව නීතිපතිගේ ස්ථාවරය දැනගැනීමට අධිකරණයට අවශ්‍යයයි.

විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන

ඒ පිළිබඳව නීතිපතිවරයාගේ ස්ථාවරය අධිකරණයට දැනුම් දෙන ලිපියක් අවශ්‍යයයි.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය

නීතිපතිවරයා මෙතෙක් කළේ තමන්ට ලැබෙන ලිපි අධිකරණයට යොමු කිරීමයි.

අගවිනිසුරුවරයා

මේ පිළිබඳ අර්ථ නිරූපණය ලබාදීමේදී සංශෝධන පිළිබඳව වැදගත්. ජනාධිපති ලේකම්වරයා නීතිපතිට යැවූ ලිපිය මත පදනම්ව අධිකරණයට එම අර්ථ නිරූපණ ලබාදිය නොහැකියි. නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන ලිපියක් අවශ්‍යයි.

අ.සො.ජනරාල්වරිය

අධිකරණයේ අවශ්‍යතාව එය නම් එය කිරීමට සූදානම්.

රජයේ මූල්‍ය පරිපාලනය පාර්ලිමේන්තුව සතු විය යුතුය යන්න 2008 දී විශේෂ පෙත්සමක් මඟින් අභියෝගයට ලක් කළා. ඒ අනුව මූල්‍ය උත්පාදන ක්‍රම එනම් බදු අය කිරීම් යනාදිය සහ රාජ්‍ය මුදල් වැය කිරීම සහ රජයේ මුදල් විගණනය යනාදිය රාජ්‍ය මූල්‍ය ලෙස සඳහන් කර තිබුණා.

එම කටයුතු සියල්ල එකින් එක පාර්ලිමේන්තුව විසින් සිදු කළ‍ නොහැකි අවස්ථාවලදී ඒ සම්බන්ධ බලය විෂය භාර ඇමැතිවරයාට හෝ ඉහළ නිලධාරීන්ට ලැබෙනවා.

අගවිනිසුරුවරයා

මෙම පනත් කෙටුම්පත අනුව බදු සහන දීමේ බලය විෂය භාර ඇමැතිවරයාට තිබෙනවාද?

අ.සො. ජනරාල්වරිය

ඇමැතිවරයාට ඒ සඳහා වන රෙගුලාසි සකස් කළ හැකියි.

විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන

මෙම පනතට පක්ෂව පෙනී සිටින විවිධ නීතිවේදීන් විවිධ අදහස් පළ කරනවා. අධිකරණයට පැහැදිලි අදහසක් අවශ්‍යයයි. නීතිපතිවරයාගේ අදහස පැහැදිලි විය යුතුයි.

අගවිනිසුරුවරයා

අද උදෑසන අධිකරණයට නීතිවේදීන් දැනුම් දුන්නා මෙම රාජ්‍ය මූල්‍ය සම්බන්ධ වගන්ති සංශෝධන කිරීමට යෝජිත බව.

අ.සො.ජනරාල්වරිය

‍මට කරුණු ඉදිරිපත් කළ හැක්කේ පවතින පනත් කෙටුම්පත පිළිබඳවයි.

අගවිනිසුරුවරයා

අධිකරණයට මෙය ගැටලුකාරීයි. ඇතැම් නීතිවේදියෙක් සංශෝධන පිළිබඳව ‍කතා කරද්දී තවත් නීතිවේදියෙක් එය අනවශ්‍ය බව පවසනවා. මෙම තත්ත්වය මත අධිකරණයට පැහැදිලි ස්ථාවරයකට පැමිණිය නොහැකියි. පැහැදිලි ස්ථාවරය දැක්වීම අවශ්‍යයයි. අදාළ සංශෝධන පිළිබඳව සටහන් තබාගෙන අතිරේක සොලිසිටර් ජනරාල්වරිය කරුණු දක්වනවා නම් හොඳයි.

ජ.නී. සුමන්තිරන් මහතා‍

පෙත්සම්කරුවන් කරුණු ඉදිරිපත් කළේ පවතින පනත් කෙටුම්පතටයි. දින හතරක් ගතවුවත් රජය අසමත්වී තිබෙනවා අදාළ සංශෝධන කවරේ ද යන්න පැවසීමට. එම සංශෝධන සම්බන්ධයෙන් ද පෙත්සම්කරුවන්ට කරුණු දැක්වීමට අවශ්‍යයයි

අගවිනිසුරුවරයා

ඒ සඳහා සීමිත අවස්ථාවක් දිය හැකියි.

අතිරේක සො. ජනරාල්වරිය

පනත් කෙටුම්පතට සිදු කරන සංශෝධන පිළිබඳව නීතිපතිවරයා හරහා දැනුවත් කිරීම සාමාන්‍ය ස්වභාවයයි. එහෙත් මෙහිදී එය වෙනස් වී තිබෙනවා.

අගවිනිසුරුවරයා

සීමිත කාලයක් සහිත වුවත් මේ තත්ත්වය යටතේ පෙත්සම් විභාගය තවදුරටත් කරගෙන යා නොහැකියි. අදාළ සංශෝධන පිළිබඳව අධ්‍යයන කර නීතිපතිවරයාගේ ස්ථාවරය හෙට උදෑසන අධිකරණයට දැනුම් දෙන්න.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment