නව සංචාරක අ‍ායෝජන ව්‍යාපෘති 54ක්

කොරෝනා වසංගත තත්ත්වයේ බලපෑම් හමුවේ වුවද පසුගිය 2020 වසරේ දී රුපියල් කෝටි 16,700 ක (ඇමරිකන් ඩොලර් මිලියන 879.94 ක) වටිනාකමක් සහිත නව සංචාරක ආයෝජන ව්‍යාපෘති 54ක් සඳහා විදේශීය ආයෝජකයන් ඉදිරිපත්ව ඇතැයි රජය ප්‍රකාශ කරයි. එයින් රුපියල් කෝටි 3,580 ක (ඇමරිකන් ඩොලර් මිලියන 188.4 ක) වටිනාකමකින් යුක්ත ව්‍යාපෘති 29ක් සඳහා මේ වනවිට අවසන් අනුමැතිය ලැබී තිබෙන අතර ඉතිරි ආයෝජන සඳහා ද කඩිනමින් අනුමැතිය ලබාදීමට කටයුතු කරමින් සිටින බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

සංචාරක ආයෝජන ප්‍රවර්ධනයට කැපවූ රාජ්‍ය අංශ නිලධාරීන් ඇගයීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. ඉකුත් වසර 10 තුල මෙරට සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ව්‍යපෘති 854ක් ක්‍රියාත්මක කර ඇති අතර රුපියල් කෝටි 133,494 ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 7,026) ආදායමක් එමඟින් ලබාගෙන තිබෙන බවද කොවිඩ් වසංගත තත්ත්වය යටතේ වුවද 2020 වසරේ දී සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධ ව්‍යාපෘති 54 ක් සඳහා ආයෝජකයන් ඉදිරිපත්ව තිබීම රටක් වශයෙන් ලැබූ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.

ඒ අනුව මෙරට සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම උදෙසා ඊට අදාළ සියලු ක්ෂේත්‍ර සංවර්ධනය කිරීම සහ යටිතල පහසුකම් සැපයීම මූලික කොට ගනිමින් ආයෝජන අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇතැයි ද ඇමැතිවරයා කීවේය. මෙරට සංචාරක ක්ෂේත්‍රයට කෙරෙන ආයෝජන සම්බන්ධීකරණය සඳහා සංචාරක සංවර්ධන අධිකාරිය විශේෂ සම්බන්ධිකරණ ඒකකයක් ද පිහිටුවා තිබෙන අතර දීර්ඝ කාලයක් තිස්සේ මෙම සම්බන්ධිකරණ ඒකකය සමඟ එක්ව මෙරට සංචාරක ආයෝජන කඩිනම් කිරීම සඳහා සහාය දැක් වු රාජ්‍ය ආයතන 37 ක නියෝජිතයන් ඇගයීමකට ලක් කීරීම සඳහා මෙම උත්සවය පැවැත්විණි.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment