පාකිස්තාන ඔක්සිජන් සැපයුම අඩුවෙලා – හදිසි නොවන සැත්කම් සිදුකිරීමත් තහනම්

පාකිස්තානයේ ඔක්සිජන් සැපයුම අඩුවීම හේතුවෙන් රටේ පළාත් දෙකක් කොරෝනා වෛරස් වසංගතය මධ්‍යයේ සැපයුම් කළමනාකරණය කිරීම සඳහා හදිසි නොවන සැත්කම් සිදුකිරීමට සම්පූර්ණ තහනමක් පනවා තිබේ. රටේ වඩාත්ම ජනාකීර්ණ පළාත් දෙක වන පන්ජාබ් සහ සින්ද් යන පළාත් විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ, රෝහල්වල හදිසි නොවන සැත්කම් වහාම අත්හිටුවන ලෙසයි. වකුගඩු ගල්, අස්ථි බිඳීම් සහ හර්නියා සඳහා සැත්කම් මෙන්ම රූපලාවණ්‍ය හා අක්ෂි සැත්කම්ද එම අත්හිටුවීමට ඇතුළත් ය. පුවත්පත් සාකච්ඡාවකදී අදහස් දක්වමින් යුද හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් බාබර් ඉෆිත්කාර් කියා සිටියේ රට තුළ නිපදවන සමස්ත ඔක්සිජන් ප්‍රමාණයෙන් 75%කට වඩා වැඩි ප්‍රමාණයක් සෞඛ්‍ය අංශයට වෙන්කිරීමට කටයුතු කර ඇති බවයි.

වර්තමාන කොරෝනා වෛරස තත්ත්වය දිගටම පැවතුනහොත් කාර්මික භාවිතය සඳහා වෙන්කර ඇති ඔක්සිජන් සෞඛ්‍ය අංශයට නැවත යොමුකරන බවද ඔහු කියා සිටියේය. පාකිස්තානයේ දැනට සක්‍රීය ආසාදිතයන් 90,000ක් සිටින බව ඉෆ්තිකාර් පවසයි. ඉන් රෝගීන් 4,300ක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන අතර, 570 දෙනෙකු වෙන්ටිලේටර්ස් භාවිත කරයි. මේ අතර පාකිස්තානය තුළ ජනතාව කොවිඩ්-19 සෞඛ්‍ය මාර්ගෝපදේශ වෙත දක්වන දුර්වල අනුකූලතාව හේතුවෙන් එම මාර්ගෝපදේශ බලාත්මක කිරීමට පොලීසියට සහායවීම සඳහා හමුදාවද යොදවන බව සඳහන් කළේය.

ඔවුන්ගේ දත්තයන්ට අනුව වෛරස් ධනාත්මක අනුපාතය 5% ට වඩා වැඩි නගර 51ක් දැන් පාකිස්තානය තුළ ඇත. රටේ දුප්පතුන්ගේ ජීවනෝපායන් සුරැකීම සඳහා සම්පූර්ණ අගුලු දැමීම් වළක්වා ගැනීමට තමාට අවශ්‍ය නමුත්, ඔහුට වෙනත් විකල්පයක් නොමැති විය හැකි බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් කියා සිටියේ ය.

Related posts

Leave a Comment