රජරටින් පාපැදි නිලවරණ කමිටුවට දෝෂාභියෝගයක්


ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ පැවැති පාපැදි සම්මේලන නිලවරණය ඉතා දූෂිත හා නීතියට පටහැණි එකක් බව අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි සංගමය ලිපියක් යොමු කරමින් තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාට දැනුම් දෙයි. පාපැදි සම්මේලන නිලවරණය මෙහෙයවූ නිලවරණ කමිටුව ක්‍රීඩා නීතිය සහ එහි රෙගුලාසි උල්ලංඝනය කළ බැවින් සැබවින්ම ස්වාධීන මැතිවරණයක් යටතේ නිලවරණය නැවත පවත්වන ලෙස අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි සංගමය ඉල්ලා සිටී. නිමාවූ පාපැදි සම්මේලන නිලවරණයේදී සභාපති තනතුරට ගාල්ල දිස්ත්‍රික් පාපැදි සංගමය නියෝජනය කරමින් තරග කළ හිටපු ජාතික ශූර එච්. එල්. ක්‍රිෂාන්ත මහතා තේරී පත් විය. ක්‍රිෂාන්ත මහතා සමග තවත් ජාතික ශූරයකු වූ වරාය අධිකාරිය නියෝජනය කළ බී. ජේ. සුමනසේකර මහතා තරග කළේය. එහිදී ක්‍රිෂාන්ත මහතා ඡන්ද 21ක් ලබාගත් අතර, සුමනසේකර මහතාට ඡන්ද 19ක් ලැබිණි.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ලේකම් තනතුරට ගම්පහ දිස්ත්‍රික්කයේ නලීන් අධිකාරී මහතා ඡන්ද 26ක් ලබා තේරීපත්වූ අතර, ඔහු වෙතින් පරාජයට පත් වූයේ ගම්පහ දිස්ත්‍රික්කයේම එච්. ඒ. කරුණාරත්න (ඡන්ද 14) මහතාය. උප සභාපති තනතුරු 6ක් සඳහා 17ක ඡන්ද පොරයක් පැවැතුණි. මෙම ඡන්ද විමසීම රහස් ඡන්දයක් ලෙස පැවැතිය ද ඡන්ද පත්‍රිකාවේ ඡන්දය ප්‍රකාශ කරන අයගේ නම හා ඡන්දදායකයා නියෝජනය කරන ක්‍රීඩා සමාජයේ නම ලියා තබන ලෙස නිලවරණය ආරම්භයේදීම නිලවරණ කමිටුව ප්‍රකාශයක් නිකුත් කිරීම සාධාරණ නිලවරණයක් පැවැත්වීමේ අයිතිය අහෝසි කිරීමක් බව අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි සංගමය ලිපිය මගින් අවධාරණය කර සිටී. පාපැදි සම්මේලන ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ කරමින් නිලවරණ කමිටුව ඡන්ද හිමි ක්‍රීඩා සමාජ ලැයිස්තුගත කොට ඒ සදහා විරෝධා කැඳවීමට පියවර ගත් අතර, පසුව නිලවරණයේදී ඡන්ද හිමි නාමලේඛනය ප්‍රසිද්ධියට පත් කළ ද ක්‍රියාකාරී ක්‍රීඩා සමාජයක් වන ගම්පහ ද ෆ්‍රෙන්ඩ්ස් පාපැදි සමාජයේ ඡන්ද අයිතිය අහිමි කොට ඇත. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික් පාපැදි සංගමයේ නිසි ලෙස පත් වූ පාර්ශ්වයට ඡන්ද බලය අහිමි කිරීම ද අයුතු ක්‍රියාවක් බව අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි සංගමය පෙන්වා දී ඇත.

ගම්පහ දිස්ත්‍රික් පාපැදි සංගමය මෙම ගැටලුකාරී තත්ත්වය ක්‍රීඩා ඇමැතිවරයා පත් කළ අභියාචනා කමිටුව හමුවට ඉදිරිපත් කළ අතර, එහිදී අභියාචනා කමිටුව එම පාපැදි සංගමයේ ඡන්ද අයිතිය තහවුරු කළ ද නිලවරණ කමිටුව එය පිළිනොගත් බව පෙන්වා දෙයි. ඡන්ද හිමි නාමලේඛනය ප්‍රසිද්ධියට පත්කොට දින 4ක් ගෙවෙද්දී නිලවරණ කමිටුව කලින් ප්‍රකාශයට පත් කළ ඡන්ද හිමි නාමලේඛනය හදිසියේම සංශෝධනය කළ අතර, ඒ අනුව සාමාජිකත්වය නොමැති ක්‍රීඩා සමාජ 6කට ඡන්ද බලය ලබාදීමට පියවර ගෙන ඇතැයි පවසා සිටී. එම සංශෝධනය මගින් කලින් ඡන්ද බලය දී තිබූ ක්‍රීඩා සමාජ 3කට ඡන්ද බලය අහිමිකිරීමට ද කටයුතු යොදා ඇතැයි ලිපිය මගින් පෙන්වා දී තිබේ. පසුව සති තුනකට පමණ පසුව තවත් ඡන්ද හිමි නාමලේඛනයේ සංශෝධනයක් ප්‍රකාශයට පත්වූ අතර, එම සංශෝධනයෙන් තවත් ක්‍රීඩා සමාජ 6කට ඡන්ද බලය දීමට පියවර ගෙන ඇත.

නිලවරණ දිනයේදී ඡන්දය ප්‍රකාශයට පත් කිරීමට ගිය අනුරාධපුර ටූ වීල් ක්‍රීඩා සමාජයට ඡන්දය භාවිතා කිරීමට ඉඩ නොදුන් බවත්, එය එම ක්‍රීඩා සමාජයේ නිලධාරීන් කලින් දැනුම්වත් නොකොට අපහසුතාවට පත් කිරීමක් බවත් අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි සංගමය ක්‍රීඩා ඇමැතිවරයාට දැනුම් දී තිබේ. මෙම ලිපියේ පිටපත් ජාතික ඔලිම්පික් කමිටු මහා ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාට, ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් නීතීඥ අමල් එදිරිසූරිය මහතාට හා මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයා ඇතුළු පිරිසකට ද යොමු කොට ඇත.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment