”ජාතිවාදය සහ පිළිකාකාරක නිසා රටේ දරුවන්ගේ අනාගතය ප්‍රශ්නාර්ථයක්” – ඉන්දිකා උපමාලි

ගායනයෙන්, රංගනයෙන් රසික හදවත් අතර තරු ලකුණු රැඳවූ කථිකාචාර්යවරියක වන ඇය නමින් ඉන්දිකා උපමාලි.

1. මේ දවස්වල වැඩකටයුතු මොනවා ද?

මගේ සංගීත පන්තියේ වැඩකටයුතු නැවත ආරම්භ කළා. ඒ වැඩකටයුතු කරගෙන යනවා. 

2. ඒ ගැන තව විස්තර කිව්වොත්?

ආර්ට් සවුන්ඩ් ඇකඩමි යන නමින් මම පන්තියක් පවත්වාගෙන යනවා. මේක ටිකක් වෙනස් පන්තියක්. මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර, මහාචාර්ය සමන්ත හේරත්, මහාචාර්ය ආරියරත්න ඇතුගල, ප්‍රවීණ සිනමාවේදී ජැක්සන් ඇන්තනී, ප්‍රවීණ ගී පද රචක බන්දුල නානායක්කාරවසම්, ජ්‍යෙ‍ෂ්ඨ කථිකාචාර්ය මහින්ද කුමාර දළුපොත ආදී ප්‍රවීණ උපදේශක මණ්ඩලයක් යටතේ මෙහි පාඨමාලා කටයුතු සිදු කරනවා. 

3. මේ පන්තියේ විෂය පරාසය ගැන සඳහන් කළොත්? 

මෙය ප්‍රාසාංගික ගායනය සම්බන්ධ ඇකඩමි එකක්. පාසල් විෂය නිර්දේශයෙන් බැහැරව අධ්‍යයන කටයුතු සිදුකරනු ලබනවා. කුසලතා තිබෙන දරුවන් බොහෝ සිටිනවා. බහුතරයකට හොඳින් ගායනා කරන්න පුළුවන් හැකියාවන් තිබෙනවා. නමුත් ඔවුන්ගේ ඉරියව්වල, හැසිරීම් රටාවේ සහ ආකල්පවල යම් යම් අඩුපාඩු දක්නට ලැබෙනවා. එම අඩුපාඩු හදා ගැනීමට අවශ්‍ය දැනුම ලබා දීමත්, කටහඬේ මනෝවිද්‍යාත්මක පැතිකඩ ගැන අවධානය යොමු කිරීමත් මෙම පාඨමාලාව හරහා සිදුකරනවා. කේමදාස මාස්ටර් යටතේ මම ලබා ගත් දැනුම, අවුරුදු 20ක පළපුරුද්ද සහ සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් මා ලබාගත් ඇත්දැකීම් මූලික කොටගෙන මවිසින් ම නිර්මාණය කරඉගන්නා ලද හඬ තාක්ෂණවේදයට බටහිර හඬ තාක්ෂණවේදය එකතු කොට ඉගැන්වීම් සිදු කරනු ලබනවා.

ඉදිරියේදී තවත් පාඨමාලාවක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා ‘අවුට් ස්කූල්’ යන නමින්. පවතින අධ්‍යාපන ක්‍රමය තුළ දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් දුර්වල කොට තිබෙනවා. එම දරුවන්ගේ පරිකල්පන ශක්තිය වැඩිදියුණු කිරීම සහ දරුවන්ට පරිසරය සමඟ මුහු වන්නේ කෙසේඉද යන්න ඉගැන්වීම මෙහි මූලික අරමුණ කොටගෙන තිබෙනවා. සෞන්දර්යය උපයෝගී කොටගෙන යහපත් පෞරුෂයක් සහිත දරුවෙකු නිර්මාණය කිරීමයි මගේ පරමාර්ථය වන්නේ. 

4. මේ පාඨමාලා සඳහා බඳවා ගන්නා වයස් සීමාවක් තිබෙනවා ද?

ඔව්. අවුරුදු 04න් ඉහළ දරුවන් පමණයි බඳවා ගන්නේ. 

5. රියැලිටි වැඩසටහනකට සම්බන්ධ වී සිටිනවා නේ ද?

ඔව්. ‘ගුරුතරුව’ නමින් ශ්‍රී  ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවය විසින් නිෂ්පාදනය කරනු ලබන රියැලිටි වැඩසටහනේ විනිශ්චය මණ්ඩලය සඳහා සම්බන්ධ වී සිටිනවා. මෙම වැඩසටහන කාලීන අවශ්‍යතාවක් සහිත වැඩසටහනක්. ගුරුවරුන්ගේ දක්ෂතා එළිදක්වන්න ලැබුණු හොඳ අවස්ථාවක්. ඉතා දක්ෂ ගුරුවරු අපිට හමුවුණා. සමහර ගුරුවරුන්ට තමන්ගේ දක්ෂතාවලින් ප්‍රයෝජන ගන්න අවස්ථාවක් ලැබිලා නැහැ. ඔවුන් තමන්ගේ රැකියාව තුළ තෘප්තිමත් ද කියන ගැටලුව මතු වෙනවා. පාසල්වල ගුරුවරු බොහෝ විට සිටින්නේ ආතතියකින්. එම තත්ත්වය දරුවන්ටද බලපානවා. එම නිසා ගුරුවරුන්ගේ මානසික සැහැල්ලු බව රඳවා ගැනීමට මෙවැනි වැඩසටහන් අවශ්‍යයි. ජාතික මට්ටමෙන් මේ ගත් උත්සාහය ගැන ගුවන්විදුලි සංස්ථාවට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ සඳහා සම්බන්ධ වීමට ලැබීම සම්බන්ධව මටත් නිහතමානී සතුටක් තිබෙනවා. 

6. අලුතින් නිර්මාණය කළ ගීත ගැනත් සඳහන් කරමු.

“කොළරා කාලේ ආලේ” නම් නවකතාවේ චරිත අළලා “ෆ්ලොරෙන්තිනෝ” නමින් ගීතයක්  නිර්මාණය කළා. එහි රූප රචනය මේ වන විට සිදුවෙමින් පවතිනවා. ඊට අමතරව රත්න ශ්‍රී  විජේසිංහයන්ගේ ගී පද රචනයෙන් හා සංගීතවේදී  සමන් පෙරේරාගේ තනු නිර්මාණයෙන් “උකුල්තල මගේ තොටිල්ල වේ පුතුණේ” නමින් ගීතයක් නිර්මාණය කළා. රත්න ශ්‍රී  විජේසිංහයන්ගේ පද රචනාවෙන් තවත් ගීතයක් නිර්මාණය කොට තිබෙනවා “පුතුණි මේ නැළවිල්ල නුඹටයි” නමින්. ඇත්ත වශයෙන් ම මෙම ගීත දෙක ම කාලීන ගීත. ජාතිවාදී ගැටලු, එමෙන් ම පිළිකාකාරක ආහාර වැනි ගැටලු නිසාවෙන් අපේ දරුවන්ගේ අනාගතය ගැන ඇත්තට ම තිබෙන්නේ ප්‍රශ්නාර්ථයක්. අපිට වෙනත් රටකට යන්න අවස්ථාව තිබුණත් අපි නොගින් ලංකාවෙ ම ඉන්නෙ මේ රට එක්ක යම් බැඳීමක් තිබෙන නිසාවෙන්. නමුත් එය අපේ දරුවන්ට සිදුකරන අසාධාරණයක් දැයි සිතෙනවා. 

7. මේ ගීත ජනගත කරන්නේ කවදා ද?

මෙම ගීතවල වැඩකටයුතු අවසන් කොට තිබෙන්නේ. රූප රචනය සිදු කරමින් පවතිනවා. ඇත්තෙන් ම විශාල වශයෙන් වැය කිරීමට තරම් මුදල් මට නැහැ. නමුත් යම්කිසි මට්ටමකට ගීතය රස විඳීමට හැකි වන ආකාරයේ රූප රචනයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙවැනි ගීත අපි නිර්මාණය කළාට මේවා මාධ්‍ය තුළින් ඉදිරිපත් කරනවා ද? නැද්ද? යන්න සැක සහිතයි. එම නිසා යූටියුබ් චැනලයක් තුළින් ජනගත කිරීමේදී රූප රචනයක් අත්‍යවශ්‍යයි. 

8. කථිකාචාර්යවරියක විධියට විශ්වවිද්‍යාල වැඩකටයුතු?

අන්තර්ජාලය හරහා ඉගැන්වීම් කටයුතු සිදු කරමින් පවතිනවා. අපේ විශ්වවිද්‍යාලයට හොඳ උපකුලපතිවරයෙක් ලැබිලා තිබෙනවා. එම නිසා ඉතා ම හොඳින් වැඩ කළ හැකි තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. 

9. ඉදිරි වැඩකටයුතු?

දරුවන් සඳහා අලුත් වැඩ කිහිපයක් පර්යේෂණාත්මක මට්ටමෙන් සිදුවෙමින් පවතිනවා. ඒ වගේ ම මගේ ආචාර්ය උපාධිය සඳහා සූදානම් වෙමින් සිටිනවා. ඊට අමතරව මගේ යූ ටියුබ් චැනලය හරහා හඬ පුහුණු අභ්‍යාස බෙදා ගැනීමට අදහස් කරගෙන සිටිනවා. ඒ හරහා දේශීය මෙන් ම විදේශීය පුද්ගලයන්ටත් දැනුම ලබා ගැනීමට අවස්ථාව ලබා දීමයි මගේ අරමුණ. 


Indika Upamali Songs Download | Indika Upamali New Songs List | Best All  MP3 Free Online - Hungama
Indika Upamali Songs Listen Online Free - Sinhala Music Box v2.0

Related posts

Leave a Comment