සහරාන් ඇතුළු 6කට අධි චෝදනා

පුත්තලම වනාතවිල්ලූව ප‍්‍රදේශයේ ජනශූන්‍ය ප‍්‍රදේශයක පිහිටි ඉඩමක පුපුරන ද්‍රව්‍ය ගබඩාවක් පවත්වාගෙන යෑමේ සිද්ධියට සම්බන්ධ මියගිය තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂිම් ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පුත්තලම මහාධිකරණය හමුවේ ඊයේ (28 ) අධිචෝදනා ගොනුකර නඩු පැවරීය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් 2019 වසරේ ජනවාරි මස සිදුකරන ලද විමර්ශනවලදී ජනශූන්‍ය ප‍්‍රදේශයක පිහිටි ලැට්ටෝස් නමැති පොල්වත්තක ස`ගවා තිබූ පුපුරණ ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් සොයාගෙන තිබිණි. එකී විමර්ශනවලදී අනාවරණය කරගත් විත්තිකරුවන්ට එරෙහිව පවරනු ලැබූ එකී නඩු කටයුත්ත විභාග කිරීම සඳහා විශේෂ ති‍්‍රපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත් කරනා ලෙසද නීතිපති දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ‘දිවයින’ පුවත්පතට පවසා තිබේ.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා ත‍්‍රස්තවාදීන්ට මූල්‍ය පහසුකම් සැපයීම වැළැක්වීමේ පනත යටතේ පවරා ඇති නඩුවේ විත්තිකරුවන් ලෙස ඉබ‍්‍රාහිම් මොහොමඞ් නවුෆර් මව්ලවි, මොහොමඞ් මුෆීස් හෙවත් මොහොමඞ් හමාස්, මොහොමඞ් සජීඞ් මවුලවි ඉබ‍්‍රාහිම්, සදික් අබ්දුල්ලා හෙවත් ගෆුර් මාමා යන විත්තිකරුවන් සිව්දෙනා මෙන්ම කොළඹ ෂැංගි‍්‍රලා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවාගත් මොහොමඞ් කාසිම් මොහොමඞ් සහරාන් හෂිම් සහ මීගමුව කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය තුළදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවාගත් අච්චි මොහොම්මදු මොහොම්මදු හස්තුන් යන ස්වයං බෝම්බකරුවන් දෙදෙනාද නම්කර ඇත.

Related posts

Leave a Comment