හොර රහසේ හඬා වැටෙන සිංහරාජයේ අප්‍රකට සුන්දරිය

ඌව පළාත කියන්නේ සුන්දරත්වයෙන් පිරුණු තැන් වරක් දෙවරක් නොවෙයි අවස්ථා ගණනාවක් ගියත් එපා නොවන සිත් ඇද බැඳ තබා ගන්නා එවැනි අපුරු තැන් සිය දහස් ගණනක් තිබෙන පළාතක්. අදත් අපි කියන්න යන්නේ එවැනි ලස්සන තැනක් ගැන තොරතුරක්. කොස්ලන්ද බුලත්වැල්ගොඩ ඉන්න අපේ මිත්‍ර ඩිලාන් සන්දිප තමයි මේ ගැන තොරතුරු මට කිව්වේ. අපි දෙන්නා ඒ අප්‍රකට දිය ඇල්ල සොයා යන ගමන ඇරඹුවේ හිමිදිරි උදෑසනකයි.

මේ දිය ඇල්ල බලන්න යන්න තියෙන්නේ වැල්ලවාය කොස්ලන්ද මාර්ගයේ සිට බෙරගල හන්දියට පැමිණ එතැනින් කොළඹ බෙරගල මාර්ගයේ කළුපහන හන්දියෙන් බැස උඩපැත්තට ඇති මාර්ගයේයි. ඒ කියන්නේ බඹරකන්ද දිය ඇල්ල බලන්න යන්න තිබෙන පාරේ කිලෝමීටර් 4ක් පමණ දුරක් යා යුතුයි. බස් රථයක එනවා නම් එම හන්දියේ ත්‍රිරෝද රථයක පැමිණීමේ පහසුකම් ද තිබෙනවා.

පාර දිගේ පැමිණෙන අතරතුර ගල් පර්වතයක් උඩ සිට ඇද හැලෙන දර්ශනීය දිය ඇල්ලක් දකින්නට ලැබෙනවා. එම දිය ඇල්ල ලංකාවේ උසම දිය ඇල්ල වන බඹරකන්දයි. ඒ සමීපයට යෑමට නම් හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවෙන් නිකුත් කරන අවසර පත්‍රයක් මිල දී ගත යුතු වෙනවා.

ඒ අවසර පත්‍රයත් අරගෙන අපි යන්නේ බඹරකන්ද දියඇල්ල බලන්න නම් නෙවෙයි. දිය ඇල්ල කිට්ටුවට යන කොට වම් පැත්තට වෙන්න තිබෙන්නේ මහා විශාල පයිනස් වගාවක්. ඒ වගාව අතරින් වැටුණු අඩිපාරක් තිබෙනවා. මේ සුන්දර දිය ඇල්ල හොයාගෙන යන්න ඕනෑ ඒ අඩිපාර දිගේයි.

පයිනස් ගස් අතරින් යන ගමන බොහෙම අනතුරුදායකයි. පොඩ්ඩක් හරි පය ලිස්සුවොත් අඩි දෙතුන් සියයක් පහළට ලිස්සලා යන්න පුළුවන්. ඒක නිසා සෙරෙප්පු දෙකක් දාගෙන යනවානම් බොහොම පරිස්සමට අඩිය තියන්න ඕනෑ. වේළුණු පයිනස් කොළ හරියට ලිස්සනවා.

සුන්දර වන පියස ඉවත් කරලා පයිනස් කියන විදේශීය ශාකය වවලා අපේ පරිසරයේ තිබුණ සුන්දරත්වය කොයි තරම් නැති වෙලාද කියලා මේ යන ගමනෙදි ඈත වන පෙතත් එක්ක බලන කොට මනාව වැටහේවි. කොහොම හරි අමාරුවෙන් මිටර් හත් අටසියයක් විතර පයිනස් වගාව අතරින් වැටුණු අඩි පාර දිගේ දිගටම ගියාම දකින්නට ලැබෙන්නේ පතන් බිමක්. මානා හොඳටම වැවිලා පාර හරියට පේන්නෙත් නෑ. කල්පනාවෙන් යන්න ඕනෑ. වම් අත පැත්ත කියන්නේ තවත් විශාල බෑවුමක් සහිත ප්‍රදේශයක්. ඒ අයිනෙන්ම තමයි මේ දිය ඇල්ලට යන පාර වැටිලා තිබෙන්නේ. එහෙම කිලෝමීටරයක් පමණ යනකොට ඈතින් දිය ඇල්ලක් පේන්න ගන්නවා. ඒක තමයි අපි මේ විස්තර කරන ලංකා ඇල්ල කියන්නේ.

තව ටිකක් දුර යන කොට කන්ද උඩ පැත්තට වගේම පහළට පාරවල් දෙකක් හමු වෙනවා. අපි යන්න ඕනේ පහළට තියෙන පාරේ. ඒක දිගේම ඇවිද ගෙන යනකොට දන්නෙම නැතිව දිය ඇල්ල ආසන්නයටම ඇවිත්.

ලංකාව වගේ හැඩය ගත්ත වතුර වැටෙන ඇල්ලක් නිසා තමයි ඒ නම මේ දිය ඇල්ලට පටබැඳී ඇත්තේ. තවමත් අප්‍රකටව පවතින මේ දිය ඇල්ලට එන පිරිස ඉතාම අඩුයි. ඇත්තටම කවුරුත් එන්නේ නැති තරම්. ඒත් සුන්දරත්වයෙන් පරිපුර්ණ වු මේ දිය ඇල්ලේ ඒ අපුර්වත්වය විඳින්න නම් ඔබ දුර කතර ගෙවා ආ යුතුමයි.

දිය ඇල්ල කෙළින්ම වැටෙන්නේ බේසමක් වැනි තැනකට. එතන හරිම ගැඹුරුයි. මෙතැන බිලි ගන්නවා කියලා කතාවකුත් තිබෙනවා. බේසමට වැටිලා ගලා යන වතුර හරිම සීතලයි. ඒ සීතලම සිතල වතුර ටිකක් බිව්වේ ගමන් මහන්සිය නිවා ගන්නත් එක්කයි.

වට පිටාවෙන් ඇහෙන කුරුලු සද්ද, රැහැයියන්ගේ සද්දවලින් කන් පිරිලා. අපි ඇල්ලේ වතුර පාර දිගේ පහළට ටික දුරක් යමු කියලා සන්දිප කිව්වේ පතන දිගේ ඇවිදගෙන එනකොට දැකපු සුන්දරත්වය තවදුරටත් විඳින්න ඕනේ කියලා හිතලයි. ඒක නම් හරිම අපූරු අත්දැකීමක්.

ඇල්ලෙන් ගලා යන වතුර පාර ගල් තලාව දිගේ පහළට ගලා ගෙන යනවා. අපි ඒ වතුර පාර දිගේ පහළට ඇවිද ගෙන ගියේ බොහොම පරිස්සමින්. සමහර තැන්වල ඔළුව අල්ලලා නාන්න පුළුවන් පිලී වගේ තැන් තියෙනවා. සමහර තැන්වල ජල තටාක වගේ හැදිලා පතුල පේන තරම් වතුර සුපැහැදිලියි පිරිසිදුයි. ඒ වතුර පාරවල් පවා සමහර තැන් වලදී කුඩා දිය ඇලි නිර්මාණය කර ගෙන තමයි පහළට කඩා හැලෙන්නේ. සමහරු ඇවිල්ලා මේ තැන්වල කූඩාරම් අටවගෙන රාත්‍රිය ගත කරපු බවට සාක්ෂි තිබුණා. ගිනි ගොඩවල් ගහලා කෑම උයාගෙන කාලා තිබුණෘ. සතුටු වෙන්න විනෝද වෙන්න රාත්‍රියක් දෙකක් ගත කරන්න කියාපු තැනක් වුණත් අවට වටපිටාව ගැන කිසිත් නොදැන එවැනි කටයුත්තකට යෑම අනතුරුදායක වෙන්න පුළුවන්. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර නොගෙන නතර වෙන්නට කොහොමත් ඉඩ ලැබෙන්නේ නැහැ.

ගඟ දිගේ ටික දුරක් ඇවිද ගෙන ගිහින් ආයෙත් පුරුදු පාරට එන්න පටන් ගත්තේ කන්දේ ඉහළට නැඟලා. ඒක නම් තරමක දුෂ්කර ගමනක්. මානා පඳුරු අල්ලගෙන පාරවල් හදාගෙන තමයි ඒ ගමන එන්න සිද්ධ වුණෙ. සමහර තැන්වල ගල් ගැලවෙනවා. පරිස්සම තමයි මේ ගමන්වලදි බොහොම වැදගත් වෙන්නේ.

ඒත් එක්කම වගේ වටපිටාවේ කාලගුණයත් වෙනස් වෙන්න පටන්ගත්තා. පැහැදිලි අහසත් හොඳින් පෙනුණු කඳු පන්තියත් ටිකෙන් ටික මීදුමෙන් වැසෙන්න පටන්ගත්තා. අවදානමට පෙර සූදානම හොඳයි කියලා අපි අඩිය ඉක්මන් කරලා පතන හරහා වැටුණු අඩි පාර දිගේ පයිනස් කෑල්ලට ආවා විතරයි තඩි වැහි බින්දු වැටෙන්න පටන් ගත්තා. ඒත් ටික වෙලාවකින් ඒක නතර වුණේ අපේ වාසනාවට. සුන්දරත්වයෙන් පිරුණු මේ ඇල්ල බලන්න ඔබත් ඉඩ ලද විටක යන්න. හැබැයි පරිස්සමයි අවදානමයි දෙකම හිතේ තබාගෙන.

Related posts

Leave a Comment