‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් ලෙවන්ස්’ හා ‘ටීම් ශ්‍රී ලංකා’ තරගයෙන් ලැබෙන ආදායමට මොකද වෙන්නෙ..?

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු සංචිතවල සිටින ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම අතර, ලබන 4 වැනිදා පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක ධාරා මැද පැවැත්වෙන විස්සයි20 තරගයේ සම්පූර්ණ ආදායම කොරෝනා එන්නත් මිලදී ගැනීමේ අරමුදලට පිරිනමන ලෙස ක්‍රීඩා හා තරුණ කටයුුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දැනුම් දෙයි. ක්‍රීඩා අමාත්‍යාංශ එළිමහන් පරිශ්‍රයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා පැවසුවේ නරඹන්නන් නැතිව පැවැත්වෙන මේ තරගය ලොව පුරා විකාශනය කිරීමට සෝනි රූපවාහිනී විකාශන ආයතනය මිලදී ගෙන ඇති බවත් තවත් අනුග්‍රාහක ආයතන කිහිපයකින් ද ලැබෙන සියලු මුදල් කොරෝනා එන්නත් මිළදී ගැනීමේ අරමුදලට බැර කරන බවත් ය.

මේ තරගයෙන් දළ වශයෙන් අමෙරිකානු ඩොලර් ලක්ෂයක (රුපියල් කෝටි 2ක් පමණ) මුදලක් කොරෝනා එන්නත් මිලදී ගැනීමේ අරමුදලට දිය හැකි වනු ඇතැයි ක්‍රිකට් කළමනාකරණ කමිටු සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා අප කළ විමසීමකදී පැවසීය. රූපවාහිනී විකාශන සමාගමෙන් හා අනෙකුත් අනුග්‍රාහකයන්ගෙන් රුපියල් කෝටි 2ක පමණ මුදලක් ලැබෙනු ඇතැයි සිල්වා මහතා තහවුරු කළේය ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම සනත් ජයසූරියගේ නායකත්වයෙන් පිටියට පිවිසෙන අතර එය ‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් ලෙවන්ස්’ ලෙස නම් කොට තිබේ. දසුන් ශානකගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු සංචිතවල සිටින ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම ‘ටීම් ශ්‍රී ලංකා’ ලෙස නම් කර ඇත.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන්ගෙන් සමන්විත ‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් ලෙවන්ස්’ කණ්ඩායමට අරවින්ද ද සිල්වා බොහෝ දුරට ක්‍රීඩා කරනු ඇතැයි සඳහන් වේ. නුවන් කුලසේකර, සමන් ජයන්ත, තිලාන් තුෂාර, ධම්මික ප්‍රසාද්, උපුල් තරංග, අජන්ත මෙන්ඩිස්, මලින්ත වර්ණපුර, උපුල් චන්දන, ඉන්දික ද සේරම්, චාමර සිල්වා හා චාමර කපුගෙදර එක් වෙති ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු සංචිතවල සිටින ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් ‘ටීම් ශ්‍රී ලංකා’ කණ්ඩායමට භානුක රාජපක්ෂ, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, ඉසුරු උදාන, සධීර සමරවික්‍රම, ෂිරාන් ප්‍රනාන්දු, විජේකාන්ත් වියස්කාන්ත්, ධනංජය ලක්ෂාන්, මහේෂ් තික්ෂණ, මොහොමඩ් ෂිරාස්, අශේන් බණ්ඩාර හා රමේෂ් මෙන්ඩිස් ක්‍රීඩා කරති.

මේ තරගය ඉන්දියාවේ සංචාරය කළ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් හා ජාතික පිලේ ක්‍රීඩකයන් කිහිප දෙනකු සහභාගි වන තරගයක් ලෙස පැවැත්විය යුතු බවට කලින් මත පළ වුවද පසුව එය ශ්‍රී ලංකා පිලේ සම්බන්ධයකින් තොරව පැවැත්විය යුතු බවට මත පළ විය. මේ තරගයට ටී.එම්. ඩිල්ෂාන් සහභාගි නොවනු ඇති බවත් එයට හේතුව ඔහු ඉන්දියාවේ පැවැති තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකාවේදී හා දැනට පදිංචි ඔස්ට්‍රේලියාවේ දින 14 බැගින් නිරෝධායනය වීම බවත් ක්‍රිකට් කළමනාකරණ කමිටු සභාපතිවරයා පැවසීය ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන්ගෙන් සමන්විත ‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් ලෙවන්ස්’ කණ්ඩායම මේ දිනවල කොළඹ එස්එස්සී පිටියේ පුහුණුවීම් සිදු කරන අතර, එම පුහුණුවීම් හිටපු ටෙස්ට් නායකයකු වන හෂාන් තිලකරත්න යටතේ සිදු කෙරේ.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment