ගතවූ දින 08 ට මෙරට ආසාදිතයින් 8,400 පනී

ගත වූ දින 8 දි පමණක් මෙරටින් කොරෝනා ආසාදිතයින් 8434 දෙනෙකු වාර්තා වි තිබෙනවා. දෛනික ආසාදිතයින් දහස ඉක්මවමින් ඉදිරියටත් වාර්තා වුවහොත් පවතින තත්වය තවත් බරපතල විය හැකි බවයි සෞඛ්‍ය අංශ අනතුරු අගවන්නේ.

පළමු වරට මෙරට දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ 1500 සීමාව ඉක්මවා ගියා. ඒ, 1000 සීමාව අඛණ්ඩව ඉක්මවා ගිය 03 වන දිනය ලෙසයි. ඉකුත් 27 වනදා පළමුවරට දෛනික ආසාදිතයින් 1000 සීමාව ඉක්මවා යමින් ආසාදිතයින් 1111 දෙනෙකු ද, 28 වනදා, ආසාදිතයින් 1466 දෙනෙකු ද, ඊයේ දිනයේදී ආසාදිතයින් 1531 දෙනෙකු ද මෙරටින් හඳුනා ගැනුණා.

ඉකුත් දින 05 ක දත්ත සැලකීමේදී දිනෙන් දින මෙරටින් හඳුනා ගන්නා දෛනික ආසාදිතයින් ක්‍රමයෙන් වැඩිවෙමින් ඇති තත්ත්වයක් දැකගත හැකියි.

මෙම තත්ත්වය තවත් සති 02 ක් පමණ පැවතිය හැකි බවටයි සෞඛ්‍ය අංශ පවසන්නේ. අළුත් අවුරුදු කොවිඩ් පොකුර ලෙස නම් කර ඇති මෙම පොකුරේ ආසාදිතයින් ඉදිරි දිනවල ද වැඩිවිය හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවා.

Related posts

Leave a Comment