ගෝඨාභය, මහින්දානන්ද, ආණ්ඩුව පොහොර තහනමින් ඇණගනී?

1971 බලයට ආපු සමගි පෙරමුණ ආණ්ඩුව දේශීය ආර්ථිකය හදන්න දැඩි තීන්දු ගත්තා. සීමා පැනෙව්වා. ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මැතිතුමා එවකට අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය එක්ක දේශීය කෘෂිකර්මය ගොඩනඟන්නත් එමඟින් රට ගොඩදාන්නත් දරුණු සටනක් කළා. ලිබරල් පක්ෂ හාල් පොල්ල මිරිස් පොල්ල කෑම පෝළිම් වගේ ස්ලෝගන් අරගෙන ඇවිල්ලා ඒ වැඩපිළිවෙලට පහර දුන්නා. එක්සත් ජාතික පක්ෂය සංවෘත කළ ආර්ථිකය විවෘත කරනවා කියලා සටන් පාඨයක් අරගෙන 1977 මැතිවරණයට ආවේ. ජේ. ආර්. ජයවර්ධන මහත්තයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය කිව්වේ පෝළිම් වෙනුවට ජනතාවට සැප දෙනවා කියලා. විවෘත ආර්ථිකය නමැති ගැටයට අහුවුණු අපේ රටේ මිනිස්සු බලයේ හිටපු සමගි පෙරමුණ ආණ්ඩුව මන්ත්‍රී ආසන 08ට බස්සලා 5/6ක බලයක් ජේ. ආර්. ජයවර්ධන මහත්තයාට දුන්නා. ජොලියේ කාලා බීලා ෆන් එකේ ඉන්න තමයි අපේ රටේ මිනිස්සු ඒ බලය දුන්නේ. 34%ක ජාතික ආර්ථිකයට 1971 වෙනකොට දායකත්වය දීපු කෘෂිකර්මය වරායේ ජැටිය දිහා හිඟන්නු වගේ බලන් ඉන්න තත්ත්වයට අද වැටිලා තියෙන්නේ එදා ගත්ත ෆන් එක නිසා කියලා අපේ රටේ මිනිස්සුන්ට තේරෙනකොට වෙන්න තියෙන වින්නැහිය වෙලා ඉවරයි. ගංඟාවල් 32ක් රට වටෙන්ම මුහුදට ගලද්දී රජ දවස සිට අපේ මුතුන්මිත්තෝ හදලා දීපු මහ වැව් අමුණු දසදහස් ගණනක් තියෙද්දී අඩි 07ක් 08ක් පොළව කපනකොට වතුර ටික මතු වෙද්දි කාලා විසි කරන ඇටයත් පැළවෙලා ඵල දරද්දි වරායේ ජැටිය දිහා දිව දික්කරගෙන බලන් ඉන්න හිඟන්නු පිරිච්ච රටක් හැදුණේ යැපුම් ආනයන ආර්ථිකයක් නිර්මානය වුණේ 77 විවෘත කරලා සැප දීපු ආර්ථිකය නිසා. දේශීයත්වයට හරස් කපපු නව ලිබරල්වාදී ආර්ථිකය රට වනසන මාෆියාවන් රැසක් රටට දායාද කළා. විදේශීය බීජ රසායනික පොහොර කෘමිනාශක සහ වල්නාශක අපේ ගොවිබිම ආක්‍රමණය කළා. දේශීයත්වය අපේ ගොවිබිමෙන් මරණයට පත්වුණා. අදාළ බහු ජාතික සමාගම් දියුණු රටවල සල්ලිවලින් රසායනික පොහොර සහ කෘමිනාශක සහ වල්නාශක තුළින් සුර ලොවක් මැවෙනවා කියලා ප්‍රචාරණය කළා.

අපේ රට සංවර්ධනය කරන්න තරම් සල්ලි මේ සමාගම් ප්‍රචාරණය වෙනුවෙන් වියදම් කළා. වැඩි අස්වැන්නක්, වැඩි ආදායමක්, වැඩි පහසුවක් සහිත දිව්‍ය ලෝකයක් අපේ රටේ ගොවීන් අතර නිර්මාණය කළා. අපේ ගොවියා මේ ගැටයට අහුවුණා. අපේ වල අපි විසින්ම කපා ගත්තා කියලා තේරෙන්න අවුරුදු 30ක් විතර ගතවුණා. පිලිකා රෝහල පිරෙනකොට, වතුර ටික බීලා වකුගඩු නරක්වෙනකොට, අන්ධ දරුවෝ ඉපදෙනකොට, නිල් දරුවෝ ඉපදෙනකොට, බහුජාතික සමාගම් කියපු සුරලොව පිටිපස්සේ අපාය තියෙනවා කියලා අපේ රටේ මිනිස්සුන්ට තේරෙන්න කාලයක් ගතවුණා. ජනාධිපතිවරු, ආණ්ඩු බලයට ගේන්න වගේම බලයෙන් පහකරන්නත් පෙහොර සහ කෘමිනාශක මාෆියාව ප්‍රබල වෙන තරමට සමාජය ගිලගෙන තිබුණා. වස ටික දීලා ලෙඩවල් හදලා බෙහෙත් ටිකත් විකුණන තරමට දියුණු රටවල් දක්ෂ සැලසුමක ඉඳගෙන අපේ රට වගේ තුන්වන ලෝකයේ රටවල් ගිලගන්න මේ මාෆියාවන් සමත්වුණා. මේ සමාගම් මත යැපෙන දේශපාලඥයන්, රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය නොවන සංවිධාන එදත් අදත් හෙටත් මේ රට තුළ ඉන්නවා. ඇන්. ඇම්. පෙරේරා සහ සිරිමාවෝ පටන්ගත්ත වැඩේ අවුරුදු 40කට පස්සේ මහින්දානන්ද අලුත්ගමගේ, ගෝඨාභය රාජපක්ෂ පටන් අරගෙන තියෙනවා. ජාතිමාමක ජනතාව ඒ වැඩේට හරි සතුටුයි. අභියෝගය එය කරන්න පුවවන්ද කියන එක. බහුජාතික සමාගම් එය පිටුපස සිටින රටවල් මේක කරන්න ඉඩ දෙයිද කියන එක. රටට ජනතාවට හෙණ ගැහුවත් සල්ලිවලට කෙල හලන මාෆියාකාරයෝ දැන් උත්සාහ කරන්නේ ගෝඨාභය බලයෙන් පහකරන්න. කෘෂිකර්ම ඇමති මාරු කරන්න. ආණ්ඩුව ගෙදර යවන්න. රජය මේ තීරනය ගත්තත් රසායනික පොහොර හා කෘමිනාශක මාෆියාව මේ සටන අත්හරින්නේ නෑ. සල්ලි වියදම් කරලා සල්ලි වීසිකරලා ආණ්ඩුව පන්නන ජනාධිපති එලවන කෘෂිකර්ම ඇමතිට කෙළවෙන සමාජ මත මේ මාෆියාව ගොඩනඟයි. ඒ නිසාම ජනාධිපතිතුමාට අපි යෝජනා කරන්නේ මේ මාෆියාවේ වල්ගෙන් අල්ලගන්න එපා. තරුණ කෘෂිකර්ම ඇමති මහින්දානන්දත් එක්ක මුළු ආණ්ඩුවම එක පෙළට ඇවිල්ලා මේ මාෆියාවේ ඔළු ගෙඩියෙන්ම අල්ල ගන්න. බඩවියත ගැන හිතන සුළුතරය බහුතර මතය වෙනස්කරන්න සමාජප්‍රලාප පතුරන බව ස්ථීරයි. මේ සියල්ල අවබෝධයෙන් රසායනික පොහොර මාෆියාවට පහර දිය යුතුයි. ඊට විධිමත් සැලසුමක් රජය සතු විය යුතුයි. ජනාධිපතිටත්, ඇමති මහින්දානන්දටත් තනිවම මේ වැඩේ භාරදීලා බලාන හිටියොත් පොහොර මාෆියාව මේ දෙන්නටම වගේම ආණුඩුවටත් පහර දෙන බව ස්ථීරයි. පොහොර තහනම කියන්නේ උඩුගම් බලා යාමක්. මෙරටේ ගොවියා පොහොර තහනමට විරුද්ධ නෑ. බඩගෝස්තරවාදී දේශපාලන පක්ෂ බහුජාතික සමාගම්, රාජ්‍ය නොවන සංවිධාන උපක්‍රමශීලීව ගොවියා උසි ගන්වන්නේ.ඊට වියදම් කරන්නේ ප්‍රබල රාජ්‍යයන්. පොහොර හා කෘමිනාශක මාෆියාව සහ ඖෂධ මාෆියාව එකම දම්වැලක පුරුක්. සියල්ල පිටුපස ඉන්නේ දියුණු රටවල්. ඒ නිසා වරායේ ජැටිය දිහා බලන් ඉන්න බාල මානසිකත්වයෙන් අපේ රටේ මිනිස්සු බේරගන්න දැනුම තේරුම තියෙන උගත් බුද්ධිමත් මිනිස්සු පෙරට එන්න ඕනේ. පොහොර තහනම දේශපාලන ප්‍රශ්නයක් කරගන්නේ නැතුව රටේ ප්‍රශ්නයක් කරගන්න ඕන. හිඟාකෑමෙන් පිරිච්ච පෙරදිග මුතු ඇටය මාෆියාවලින් බේරගෙන සුවපත් කරන්න දෙකෝටියකට වැඩි අපේ රටේ මිනිස්සුන්ගේ ඔළුගෙඩි ඇතුළේ තියෙන මොළගෙඩි පෑදේවායි කියලා පුරවැසියෝ ප්‍රාර්ථනා කරනවා.

Related posts

Leave a Comment