කඩා වැටුණු ශ්‍රී ලංකා මැද පෙළට දික්වැල්ල සහ රමේෂ්ගෙන් තල්ලුවක්

පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ පළමු කඩුල්ලට ද්විත්ව ශතක සබඳතාවකින් සාර්ථක ආරම්භයක් දුන් ශ්‍රී ලංකා පිලට දෙවැනි දිනයේදී තර්ජනයක් එල්ල කරමින් ලකුණු 69ක් තුළ කඩුලු 5ක් බිඳ දැමීමට සංචාරක බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ. කෙසේ වෙතත් 7 වැනි කඩුල්ලට ලකුණු 87ක නොබිඳුණු සබඳතාවක් ගොඩනඟමින් කඩා වැටුණු මැද පෙළ ශක්තිමත් කිරීමට නිරෝෂන් දික්වැල්ල සහ රමේෂ් මෙන්ඩිස් සමත්ව සිටිති. අයහපත් අලෝක තත්ත්වය හේතුවෙන් ඕවර 24ක් පමණ ඉතිරිව තිබියදී ඊයේ තරගය දෙවැනි දිනයට නතර කරන විට ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 469ක් රැස් කර තිබිණි. නිරෝෂන් දික්වැල්ල ලකුණු 64ක් සහ රමේෂ් මෙන්ඩිස් ලකුණු 22ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති. වේගවත් පිතිහරඹයක නිරත වූ දික්වැල්ල පන්දු 64කදී හතරේ පහර 7ක් එල්ල කර තිබූ අතර, රමේෂ් පන්දු 55කදී හතරේ පහර 2ක් ඉනිමට එක් කර තිබිණි.

ටෙස්ට් පිටියේ ශතකයක් වාර්තා නොකර වැඩිම අර්ධ ශතක ගණනකට හිමිකම් කියමින් ලෝක වාර්තාව සතු කර ගෙන සිටින දික්වැල්ල ඊයේ වාර්තා කළේ 18 වැනි අර්ධ ශතකයයි. ඔහුට මංගල ටෙස්ට් ශතකය කරා යෑමට අද තවත් රැස් කළ යුතුව ඇත්තේ ලකුණු 36ක් පමණි. ඊයේ තරගයේ උදය වරුව සිය පාලනයට ගත් බංග්ලාදේශ පන්දු යවන්නෝ ශ්‍රී ලංකා පිතිකරුවන් තිදෙනෙක් ලකුණු 15ක් තුළ යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් වූ අතර, දෙවැනි කාර්තුවේදී අනෙක් කඩුලු 2ක බිඳ දැමූහ. පළමු දිනයට ක්‍රීඩාව නතර කරන විට දෙවැනි කඩුල්ලට ළහිරු තිරිමාන්න (131) සහ ඕෂධ ප්‍රනාන්දු (40) ගොඩනඟා තිබූ සබඳතාවට තවත් ලකුණු 22ක් එක් වෙද්දී ඊයේ පළමු කඩුල්ල ලෙස තිරිමාන්න දවා ගැනීමට ටස්කිස් අහමඩ් සමත් වූයේ කඩුලු රකින ක්‍රීඩක ලිටන් දාස් උඩ පන්දුවක් රැක ගැනීම හේතුවෙනි. ඊයේ තවත් ලකුණු 9ක් පමණක් රැස් කළ තිරිමාන්නගේ ඉනිම පන්දු 298කදී ලකුණු 140කට සීමා වූ අතර, ඔහු හතරේ පහර 15ක් එල්ල කර තිබිණි. තිරිමාන්න දවාගත් අහමඩ් යළිත් දාස් සමඟ එක්ව පළපුරුදු පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස්ගේ ඉනිම ලකුණු 5කට සීමා කළ අතර, පළමු තරගයේදී විශිෂ්ට ශතකයක් රැස් කළ ධනංජය ද සිල්වාට ඊයේ රැස් කළ හැකි වූයේ ලකුණු 2ක් පමණි. ඔහු තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවකට නජ්මුල් හොසේන් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.

ඊයේ තරගයේ දිවා විවේකයට පෙර ශ්‍රී ලංකා කඩුලු 3ක් බිඳ දැමූ බංග්ලාදේශ පන්දු යවන්නෝ සවස තේ පානය වන විට තවත් කඩුලු 2ක් දවා ගැනීමට සමත් වූහ. ඒ අතුරතුර දිවා විවේකයට පෙර ලකුණු 43ක් පමණක් එක් කර ගත් ශ්‍රී ලංකා පිතිකරුවෝ සවස තේ පානය වන විට තවත් ලකුණු 91ක් එක් කර ගත්හ. දිවා විවේකයෙන් පසු යැවූ ඕවර 19න් ලකුණු 48 උදුරා ගැනීමට ඕෂධ සමඟ 5 වැනි කඩුල්ලට එක් වූ පැතුම් නිස්සංක සමත් විය. එහෙත් 136 වැනි ඕවරය යැවූ ටස්කින් අහමඩ් ලකුණු 30ක් රැස් කර සිටි නිස්සංකගේ ඉනිම නිමා කරමින් 5 වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 54කට සීමා කළේය. මුළු ලකුණු 382දී නිස්සංක දැවී ගිය අතර, ලකුණු සංඛ්‍යාව එලෙසම තිබියදී ඊළඟ ඕවරයෙන් ඕෂධ ද පිටියෙන් ඉවත් කිරීමට මෙහෙදි හසන්ට හැකි විය. පන්දු 221කදී හතරේ පහර 8ක් සමඟින් ලකුණු 81ක් රැස් කිරීමට ඕෂධ සමත් වූයේ සිවුවැනි ටෙස්ට් අර්ධ ශතකය ලෙසිනි. අද තරගයේ තෙවැනි දිනයයි.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment