නව කැබිනට් පත්‍රිකාවට පරිසර සංවිධානවල පූර්ණ සහාය

‘දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථික රටාවක් කරා’ යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව 2012 සිට මේ රටේ සියලු පරිසර සංවිධාන ඉල්ලා සිටි පාරිසරික හා කෘෂිකර්ම ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමක් බවත් ඊට සම්පුර්ණ සහාය පළ කරන බවත් පරිසරවේදීහු පවසති. ඔවුන් මෙසේ පැවසුවේ මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ක්‍රියාත්මක කිරීම හා ඒ පිළිබඳ අදහස් යෝජනා ලබා ගැනීම පිණිස පසුගිය සිකුරාදා (30) පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා හා පරිසරවේදීන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවේදීය. ඊට පාහිංයගල ආනන්ද සාගර හිමියන් ඇතුළු පරිසරවේදීහු රැසක් සහභාගි වූහ.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ අපේ රටේ තිරසර පරිසරය හා කෘෂිකර්ම සංවර්ධනය සම්බන්ධව මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව කරුණු 20ක් ඇතුළත් කර ඇති බවයි. අපේ රටේ රෝගීන් ඉහළයාමට හේතු වූ වසවිෂ සහිත කෘෂිකර්මය වෙනුවට කාබනික කෘෂිකර්ම පිළිවෙත ක්‍රියාත්මක කිරීමට ඉන් යෝජනා කර තිබේ. එමෙන්ම තිරසර පාරිසරික සංවර්ධනය උදෙසා වැඩ කටයුතු ගණනාවක් රජය ක්‍රියාත්මක කිරීම ජනාධිපතිතුමන්ගේ අභිප්‍රාය බවද අමාත්‍යවරයා කීවේය.

මෙහිදී අදහස් පළ කළ පාහියංගල ආනන්දසාගර හිමියෝ මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අතිවිශිෂ්ට එකක් බව අවධාරණය කර සිටියහ. අපෙ 2012 වසරේ සිට පැවැති ආණ්ඩු සියල්ලෙන්ම ඉල්ලා සිටියේ මේ රටේ කාබනික වගාවට මුල් තැන දෙන්න කියායි. නමුත් නොමිලේ රසායනික පොහොර ලබා දීම නිසා අද අපේ ගොවි පරපුර ඉවරයි. වකුගඩු රෝගයෙන් මිය යන්නේ හොඳින් වැඩ කළ හැකි පළපුරුදු අපේ රටේ ගොවි පරම්පරාවයි. එමනිසා මේ ගත් පියවර අතිශය ප්‍රශංසනීය යැයි උන්වහන්සේ කීහ. මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා කාබනික වගාව යටතේ අවශ්‍ය කාබනික පොහොර ලබා දීම සඳහා රජය රුපියල් කෝටි 100ක මුදලක් අය-වැයෙන් වෙන් කර ඇතැයි කියා සිටියේය.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment