”අපි වැඩ කරන්නේ විපක්ෂයේ වැඩ බැරි ටාසන්ලාට අවශ්‍ය පරිදි නොවෙයි”

කොවිඩ් තුන්වන රැල්ල පාලනය සඳහා ආණ්ඩුව ගත හැකි, ගත යුතු සෑම පියවරක් ම ගෙන තිබෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි.

ගෝලීය වසංගත තත්ත්වයේ වෙනස්වීම් අනුව ඉදිරියේ ඇතිවිය හැකි යැයි හැඟෙන තත්ත්වයන්ට මුහුණ දීම සඳහා සෞඛ්‍ය අංශය ශක්තිමත් කරන බවත් කොවිඩ් පාලනයට ආණ්ඩුව කටයුතු කරන්නේ සෞඛ්‍ය අංශ උපදෙස් අනුව මිස විපක්ෂයේ වැඩ බැරි ටාසන්ලාට අවශ්‍ය පරිදි නොවන බවත් ඇමතිවරයා  අවධාරණය කරයි.

ගෝලීය වසංගත තත්ත්වයේ වෙනස්වීම් අනුව ඉදිරියේ ඇතිවිය හැකි යැයි හැඟෙන තත්ත්වයන්ට මුහුණ දීම සඳහා සෞඛ්‍ය අංශය ශක්තිමත් කිරීමට රජයේ වැඩි අවධානයක් යොමුව ඇතැයි ද ඇමැතිවරයා පෙන්වා දෙයි.

මිනුවන්ගොඩ කොවිඩ් කමිටු රැස්වීමේදී ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ ය. රැස්වීම පසුගියදා (අප්‍රේල් 30දා) මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ, කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ කඩිනම් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි. ඉදිරි සති කිහිපය තුළ කොවිඩ් එන්නත් මෙරටට ලැබීමට නියමිත බව ද ඇමතිවරයා සඳහන් කළේය. රටේ ජනතාව ආරක්ෂා කරගනිමින් ආර්ථික තත්ත්වය ද රැක ගැනීම මේ මොහොතේ ආණ්ඩුව මුහුණ දෙමින් සිටින අභියෝගයයි. එම අභියෝගයට මුහුණ දීම සඳහා හැකි උපරිමයෙන් කටයුතු කරන බවද පෙන්වා දෙයි.

කඩිනමින් ප්‍රතිකාර මධ්‍යස්ථාන ගොඩනගමින්, ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන කොරෝනාවෛරසය සඳහා සුදුසු ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කරමින් ආරක්ෂක අංශ දක්වන සහාය ද මේ මොහොතේ අගය කරන බව කී අමාත්‍යවරයා කොරෝනාවෛරසය ගෝලීය වසංගත තත්ත්වයක් බව දැන දැනත් රෝගය මර්දනය කිරීම සඳහා රජයට සහාය වෙනවා වෙනුවට විපක්ෂය කටයුතු කරන්නේ වගකීම් විරහිතව යැයි ද පෙන්වා දුන්නේ ය.

මෙම ගෝලීය වසංගත තත්ත්වය යටතේ හෝ ආණ්ඩුවට පහරදී බලය ලබා ගැනීමේ අරමුණින් විපක්ෂය කරන පදනම් විරහිත ප්‍රකාශවලට අවධානය යොමු කරනවා වෙනුවට වෛරසය පාලනය කර, එන්නත්කරණ වැඩපිළිවෙළ මගින් සෞඛ්‍ය ගැටලුවට නිසි විසඳුම්දීම මෙන්ම ම වෛරසය පාලනය කර ජනතාව ආරක්ෂා කර ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

මිනුවන්ගොඩ රෝහල දැනට කොවිඩ් රෝහලක් බවට පත් කර තිබේ. ඒ සඳහා අවශ්‍ය පහසුකම් පුළුල් කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි. මීට අමතරව මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිහිටා ඇති ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා කඩිනමින් පියවර ගන්න යැයි ඇමතිවරයා ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේ ය. 

ඉදිරියේදී අවශ්‍ය වුවහොත් එම රෝහල් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස භාවිත කළ හැකි පරිදි දියුණු කිරීම එහි අරමුණයි. ඇමතිවරයා සඳහන් කළේ, ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක 45ක්, ප්‍රාදේශීය රෝහල් 09ක්, මූලික රෝහල් 04ක සෞඛ්‍ය යටිතල පහසුකම් කඩිනමින් සංවර්ධනය කිරීමට තීරණය කර ඇති බවයි. ඉදිරියේදී එළඹෙන ඕනෑ ම තත්ත්වයකට මුහුණදීම සඳහා ග්‍රාමීය කමිටු බලාත්මක කරන ලෙසත්, ඇමතිවරයා මෙහිදී උපදෙස් දුන්නේ ය.

Related posts

Leave a Comment