කොවිඩ් සිරුරු නොමිලේ ආදහනය සම්බන්ධයෙන් චක‍්‍රලේඛයක් !

කොවිඩ් රෝගීන්ගේ මළ සිරුරු නොමිලේ අදාළ පළාත් පාලන ආයතනවලට අයත් ආදාහනාගාරවලදී ආදාහනය කිරීම සම්බන්ධයෙන් චක‍්‍රලේඛයක් නිකුත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පෙරේදා (02 ) මාතලේදී පැවසීය.

මාතලේ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ කොවිඩ් රැස්වීමේදී මෙම කරුණු අනාවරණය විය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, මාතලේ දිස්ත‍්‍රික්කය තුළ කොවිඩ් රෝගීන් රඳවා තැබීමට ඇදන් දහසක ධාරිතාවකින් යුත් ස්ථාන කිහිපයක් යොදා ගැනීමට කටයුතු කරන බවත් තමන් ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය සමග සාකච්ඡුා කළ බවත් පැවසීය. එම කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා මෙම විශේෂ රැස්වීම කැඳවු බවද හෙතෙම කීය.

මෙහිදී අදහස් දැක්වූ මාතලේ නගරාධිපති සන්දනම් මහතා කියා සිටියේ පළාත් පාලන ආයතනවල ආදාහනාගාරවලදී කොවිඩ් රෝගීන්ගේ මළ සිරුරු නොමිලේ ආදාහනය කිරීමට සිදුව ඇති බවත් ඒ පිළිබඳව තීන්දුවක් ගන්නා ලෙස විෂය භාර අමාත්‍යවරයාගෙන් ඉල්ලූ බවත්ය.

කොවිඩ් රෝගීන් වෙනුවෙන් නාඋල අඹන රෝහල යොදා ගැනීමටත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමටත්, ඊට අමතරව මාතලේ හා දඹුල්ල ප‍්‍රදේශවලින් අතරමැදි කොවිඩ් ප‍්‍රතිකාර ඒකක ලෙස යොදා ගැනීමට හැකි ස්ථාන වහාම සොයා ගැනීමට සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමටත් මෙහිදී තීරණය විය.

මෙම රැස්වීම සඳහා සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාලක කෝට්ටේගොඩ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහණ දිසානායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, මාතලේ දිස්ත‍්‍රික් කොවිඩ් 19 වසංගත පාලන කමිටුවේ සම්බන්ධීකාරක මේජර් ජෙනරාල් එස්. යූ. එම්. එන්. මානගේ, මාතලේ දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ චමින්ද වීරකෝන් යන මහත්වරුන් ඇතුළු කමිටුව නියෝජනය කරන රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගි වූහ.

Related posts

Leave a Comment