කඩා වැටුණු දේශපාලන පක්ෂයක කුහකත්වයයි මේකෙන් පේන්නේ

සම කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසන්නේ දඹුල්ලේ එළවළු ගොවීන්ගේ ප්‍රශ්නයෙන් පිළිබිඹු වන්නේ කඩා වැටුණු දේශපාලන පක්ෂයක කුහකත්වය ඉස්මතු කිරීමේ වැඩපිළිවෙළක් බවයි. ඇමැතිවරයා මේ බව පැවැසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ ඊයේ (04) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ සාකච්ඡාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

‘එම පිරිසට කැලෑවලට හෝ වෙනත් ස්ථානවලට මේ එළවළු ගෙන යන්නැයි උපදෙස් දුන්නේ කවුරුන්ද කියා රටට දන්නවා. මෙය දේශපාලන ප්‍රශ්නයක් කර ගැනීමට කිසිදු සූදානමක් නෑ. මේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විශේෂ අවධානය යොමු කර විවිධ යෝජනා ඉදිරිපත් කරමින් සිටිනවා. කොරෝනා වයිරසයේ පළමු රැල්ල ඇති වූ අවස්ථාවේ ගොවීන්ගෙන් එළවළු මිලදී ගෙන සහන මිලකට ජනතාවට දීමටත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා අඩු ආදායම්ලාභී පවුල්වලට එළවළු බෙදා දීමත් සිදු කළා. ඉදිරියේදී ද එවැනි ක්‍රියාමාර්ගවලට යෑමේ හැකියාව පවතිනවා. මේ ඇති වී තිබෙන වයිරසයේ තත්ත්වය නිරන්තරයෙන් වෙනස් වෙනවා. එය සංකීර්ණ නිසා ගොවීන්ට, වෙළෙන්දන්ට සේම පාරිභෝගිකයාට අසාධාරණයක් නොවන අයුරින්, ආර්ථිකයට පාඩුවක් නොවන අයුරින් කළමනාකරණය කිරීමට පියවර ගන්නවා.’

යනුවෙන් ඔහු අදහස් දක්වා සිටියේය.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment