කොවිඩ් මාරයා “IPL” නවතයි, කණ්ඩායම් 4ක් නිරෝධායනයට

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ පියවර ගත්තේ දිනෙන් දින දරුණු අතට හැරෙන කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය ජෛව බුබුළු සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේදයට අනුව පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියටත් පැතිරීම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි තරගාවලිය අවලංගු කර දැමීමටයි. කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක වරුන් චක්‍රවර්තිට සහ වේගපන්දු යවන ක්‍රීඩක සංදීප් වොරියර්ට කොවිඩ් ආසාදිතය වීමෙන් දිනකට පසු චෙන්නායි සුපර් කිංග්ස් පිලේ පන්දු යැවීමේ පුහුණුකරු ලක්ෂ්මිපති බාලාජිට සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයකුට කොවිඩ් ආසාදනය වූ අතර, තරගාවලිය අත්හිටුවීමට තීරණය වූයේ ඊයේ සන්රයිස් හයිද්‍රබාද් පිලේ ක්‍රීඩක රිද්දිමන් සහාට ද වයිරසය ආසාදනය වීම හේතුවෙනි. මේ උණුසුම මැද දිල්ලි කැපිටල්ස් පිලේ අමිත් මිෂ්රාට ද වයිසරය වැලඳී තිබිණි.

උද්ගත වූ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ඊයේ දහවල් හදිසියේම රැස් වූ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඒකමතිකව මේ තීරණය ගත්තේ තව දුරටත් ක්‍රීඩකයන් අවදානමට දැමීමට නොහැකි පසුබිම සැලකිල්ලට ගනිමිනි. එහෙත් මේ වන විටත් අයිපීඑල් තරගාවලියට සහභාගි වෙමින් සිටි ක්‍රීඩකයන්ට කොවිඩ් මාරයා අත වනමින් සිටී. කොවිඩ් ආසාදිත ක්‍රීඩකයන් නියෝජනය කළ සියලු කණ්ඩායම් මේ වන විටත් නිරෝධායනයට ලක් කර ඇති අතර, ඉදිරියේදී තවත් ක්‍රීඩකයන් රැසකගේ පීසීආර් පරීක්ෂණ නරක ප්‍රතිඵල පෙන්නුම් කරනු ඇතැයි අනාවැකි පළ වී තිබේ. අයිපීඑල් තරගාවලියට සහභාගි වූ සියළු විදෙස් ක්‍රීඩකයන් සහ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් ආරක්ෂාකාරීව නැවත රටින් පිට කිරීම ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය හමුවේ ඇති අභියෝගයකි.

‘ක්‍රීඩකයන්ගේ සෞඛ්‍යාරක්ෂාව අවදානමට දැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට නොහැකියි. සියලු දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන අයිපීඑල් තරගාවලිය අත්හිටුවීම හැරෙන්නට වෙනත් විකල්පයක් දැන් අපට නැත. සියලුදෙනා නැවත ආරක්ෂාකාරීව ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් වෙත පිටත් කර හැරීම අපගේ වගකීමයි. ඒ සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමට අප සූදානම්‘ නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය එසේ ප්‍රකාශ කළේය. අයිපීඑල් තරග ඉන්දියාවේ නගර 6ක පැවැත්වූ අතර, ඒ සඳහා ක්‍රීඩකයන් හා පුහුණු කාර්ය මණ්ඩලය ගමන් කළේ කුලියට ගත් සහ පෞද්ගලික ගුවන්යානා මගිනි.

මේ වන විට සියලු කණ්ඩායම්වල ක්‍රීඩකයන් සහ පුහුණු කාර්ය මණ්ඩලය දැඩි සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් විවිධ නගරවල හෝටල්වල නවාතැන් ගෙන සිටින අතර, ජෛව බුබුළු ආරක්ෂක වළල්ලෙන් පිට කිසිදු බාහිර පුද්ගලයකුට එම ස්ථානවලට ඇතුල් වීම තහනම් කර තිබේ. 14 වැනි වරටත් පැවැත්වෙමින් තිබූ අයිපීඑල් තරගාවලිය මේ මස 30 වැනිදා නිමාවට පත් වීමට නියමිතව තිබූ අතර, තරගාවලිය අත්හිටුවන විට දිල්ලි කැපිටල්ස් පිල තරග 8කින් 6ක් ජය ගෙන පෙරමුණේ සිටී.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment