දිනකට PCR 25,000යි, වියදම කෝටි 4යි

සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (04) ප්‍රකාශ කලේ කොවිඩ් රෝගීන් හඳුනා ගැනීම සඳහා දිනකට පීසීආර් පරික්ෂණ විසිපන්දහසක් කරන බවත් ඒ සඳහා දෛනිකව රුපියල් ලක්ෂ හාරසියයක් පමණ වැය වන බවත් කියාය. කොවිඩ් වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා රජය ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන අතර රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අලුතෙන් ඇඳන් 10,000ක් වෙන් කිරීමට පියවර ගෙන ඇති බවද සඳහන් කළාය. එමෙන්ම කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා දැඩි සත්කාර ඒකක ඇඳන් (I.C.U) 104ක් වෙන් කර ඇති බවත් තවත් ඇඳන් 138ක් වෙන් කිරීමට සූදානම් කර ඇති බවත් සෞඛ්‍ය ඇමැතිවරිය කීවාය. වන්නිආරච්චි මහත්මිය මේ බව සඳහන් කළේ කොරෝනා අවදානම හමුවේ රට මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන් වූ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයට පාර්ලිමේන්තුවේදී ඊයේ (04) එක් වෙමිනි.

මෙම වසංගතයට මුහුණ දීමේදී සියලු අංශ කළමනාකරණය කළ යුතු අතර කොවිඩ්වලට අවශ්‍ය සියලු දේ මිලදී ගැනීමට පවා අපගේ ආර්ථිකයද ශක්තිමත් විය යුතු අතරම ජනතාවගේ ආර්ථිකයද කඩා නොවැටෙන පරිදි තීන්දු තීරණ ගතයුතු බවද ඇමතිවරිය සඳහන් කළාය. මේ වනවිට දෛනිකව පී සී ආර් පරික්ෂණ 25000ක් සිදුකරන අතර පරික්ෂණ සඳහා දිනකට ලක්ෂ හාරසියයකට අධික මුදලක් වැය වන බවද ඇමැතිවරිය අනාවරණය කළාය. කොවිඩ් වසංගත තත්ත්වය ශක්තිමත්ව කළමනාකරණය කිරීම වෙනුවෙන් සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක අතර රෝහල්වල පවතින ඔක්සිජන් ධාරිතාව ටොන් අසූවක් දක්වා වැඩි කිරීමට පියවර ගෙන ඇති බවත් ඔක්සිජන් ජම්බෝ සිලින්ඩර හාර දහසක් මිලදී ගැනීමට ඇනවුම් කර ඇති බවත් ඇය පැවසුවාය. මේ වනවි‍ට ඉන් හාරසියයක් ලැබී ඇතැයිද වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය. ඉදිරි කාලයේදී මෙරට ජනතාව වෙනුවෙන් එන්නත් රැසක් ලැබීමට නියමිත අතර ස්පුට්නික් එන්නත් මාත්‍රා එක් කෝටි තිස් ලක්ෂයක් මේ වර්ෂයේ දී කොටස් වශයෙන් ලැබීමට නියමිත බවද සඳහන් කළාය. මේ අතර චීන එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණු වහා තවත් එන්නත් තොග මෙරටට ලබාදීමට චීන රජය සහතික වී ඇතැයිද ජනතාවට එන්නත් ලබාදීම අඛන්ඩව සිසුකරන බවද ඇමතිවරියා කියා සිටියේය.

Related posts

Leave a Comment