බදියුදීන්ව පාර්ලිමේන්තුවට කැඳවන්න එපා

මහජන ආරක්ෂක ඇමැති විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා කථානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (5) ඉල්ලීමක් කලේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත සිටින හෙයින් එම පරීක්ෂණ අවසන් වන තෙක් මැතිසබයට නොකැඳවන්න ලෙසයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත සිටින කිසිදු මන්ත්‍රීවරයකු අදාළ විමර්ශන අවසන් වන ‍තෙක් පාර්ලිමේන්තුවට කැඳවීම නොකළ යුතු බවද ඇමැතිවරයා පැවසීය. ඇමැති සරත් වීරසේකර මහතා මේ බව සඳහන් කළේ රැඳවුම් නියෝග යටතේ සිටින රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා මැතිසබයට කැඳවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කළ අවස්ථාවේදීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ය‍ටතේ රඳවා ගෙන ප්‍රශ්න කරන ඇතැම් කරුණු ජාතික ආරක්ෂාවටද අදාළ වන බැවින් එවැනි කරුණු හෙළිදරව් වුවහොත් ගැටලු නිර්මාණය විය හැකි බවද ඇමැතිවරයා සඳහන් කළේය. ඇමැතිවරයා වැඩි දුරටත් පැවසුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන කිසිදු මන්ත්‍රීවරයකු විමර්ශන අවසන් වනතෙක් සභාවට කැඳවීම නොකළ යුතු බවය.

Related posts

Leave a Comment