ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලටත් කොරෝනා රිංගයි

ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් පිලේ වේගපන්දු යවන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවකට කොවිඩ් වයිරසය ආසාදනය වී තිබේ. ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාකිස්තාන සංචාරය ඉලක්ක කරමින් පසුගිය මාසයේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතයේ පුහුණුවීම්වල නිරත සිටි මේ ක්‍රීඩිකාවට කොවිඩ් ආසාදනය වී ඇත්තේ අවුරුදු නිවාඩුව අතරතුරදීය. ශ්‍රී ලංකා කාන්තා සංචිතයේ පුහුණුවීම් සිදු කර ඇත්තේ පීසීආර් පරීක්ෂණ සිදුකිරීමෙන් පසුව වන අතර, එම පුහුණු කටයුතු අප්‍රේල් 8 වැනිදා නිමාවට පත් වී ඇත. අනතුරුව අවුරුදු නිවාඩුවෙන් පසු අප්‍රේල් 20 වැනිදා නැවත පුහුණුවීම් ආරම්භ කිරීමට පෙර ක්‍රීඩිකාවන් පීසීආර් පරීක්ෂණයට යොමු කිරීමේදී අදාළ ක්‍රීඩිකාවට වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

එම ක්‍රීඩිකාව සමඟ නවාතැන් ගෙන සිටි නැගී එන කණ්ඩායමේ ක්‍රීඩිකාවන් කිහිපදෙනකු නිරෝධායනයට යොමු කර ඇතැයි වාර්තා වේ. නාවික හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරන අදාළ ක්‍රීඩිකාව මේ වනවිට නාවික හමුදාව භාරයේ ප්‍රතිකාර ගනිමින් සිටින බවත්, ඇගේ තත්ත්වය බරපතළ නොවන බවත් ආරංචි මාර්ග සඳහන් කරයි. කාන්තා ක්‍රිකට් සංචිතයේ පුහුණුවීම් ආරම්භ කිරීමට පෙර සියළු ක්‍රීඩිකාවන් පීසීආර් පරීක්ෂණයකට ලක් කිරීමට පියවර ගෙන තිබූ බවත්, ඒ අවස්ථාවේදී ඔවුන්ගේ පරික්ෂණ වාර්තා නෙගටිව් බව තහවුරු වූ බවත් මේ පිළිබඳ කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිකට් කළමනාකරණ කමිටුවේ ලේකම් ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව අදාළ ක්‍රීඩිකාවට වයිරසය ආසාදනය වී ඇත්තේ නිවාඩු කාලය අතරතුර බව තහවුරු වී ඇත.

පසුගිය මාසයේ අග භාගයේදී ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිහිටි ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයේ පිරිසක් කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගැනීම හේතුවෙන් එම මධ්‍යස්ථානය වසා දැමීමට පියවර ගෙන තිබූ අතර, කාන්තා ක්‍රිකට් පුහුණුවීම් ද ඒ සමඟම අවලංගු කර තිබිණි. කාන්තා ක්‍රිකට් සංචිතයේ සෙසු ක්‍රීඩිකාවන් මේ වනවිට නිරුපද්‍රිතව ඔවුන්ගේ නිවෙස්වල සිටින බවත්, නැවත පුහුණුවීම් ආරම්භ කිරීමට පෙර පීසීආර් පරීක්ෂණයකට පෙනී සිටිනු ඇති බවත් වාර්තා වේ.

Related posts

Leave a Comment